FAST NEWS

24×7 Around the Globe

ලක්දිව ඉංජිනේරු සමාගම මාස 08 කට මිලියන 35ක ලාභයක් ලබයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  පැරණි ලංගම බස් රථ අලුතින් සකස් කරන ලක්දිව ඉංජිනේරු සමාගම විසින් 2019 වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා රුපියල් මිලියන 35ක ලාභයක් ලබා ඇති බව එම සමාගමේ දුම් සහතික නිකුත් කිරීමේ පරීක්‍ෂණ මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවේදී ප්‍රකාශයට පත් කළ සමාගම් ප්‍රගති සමාලෝචන වාර්තාවෙන් මෙම කරුණු අනාවරණය විය.  

එම කාලයේදී සමාගම බස් රථ 107 ක් ප්‍රතිනිෂ්පාදනය කර තිබෙන අතර, එය පසුගිය වසරේ ජනවාරි සිට අගොස්තු දක්වා කාලයට සාපේක්‍ෂව සමාගමේ කාර්යක්‍ෂමතාව 100 % කින් ඉහළ යාමක් සිදුව ඇත.

සමාගමේ ව්‍යාපාරික අවස්ථා තවත් පුළුල් කරමින් ජපන් රථවාහන අලුත්වැඩියා කිරීමේ මධ්‍යස්ථානයක් එම භූමියේ ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබෙන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා  සඳහන් කළේය.

තමා අමාත්‍යාංශය බාරගන්නා විට ලක්දිව ඉංජිනේරු සමාගම මාසයකදී බස් රථ 07ක් අලුතින් සකස් කළද, අද වනවිට 15 දක්වා වැඩි වී තිබෙන බවත්, ඉදිරියේ එය 20 දක්වා වැඩි කිරීමට සැලසුම් කර තිබෙන බවත් ප්‍රවාහන අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.