FAST NEWS

24×7 Around the Globe

උදය ගම්මන්පිළගෙන් පාර්ලිමේන්තුවට අනතුරු ඇගවීමක්.

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා නම් කිරීමේදී මෙන්ම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවට නියෝජිතයන් නම් කිරීමේදීද තමන්ට ආසාධරණයක් සිදු වී ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හවුල්කාර පක්ෂ පවසනවා.

පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පැවසුවේ මේ සම්බන්ධයෙන් තමන් කථානායක කරු ජයසූරිය මහතාටද කරුණු පැහැදිලි කළ බවයි.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවට පත් කෙරෙන නියෝජිතයන් දස දෙනාගෙන් 7 දෙනෙකු පාර්ලිමේන්තුවේ සාමාජිකයන්.

ඔවුන්ගෙන් එක් අයෙකු නම් කෙරෙන්නේ ජනාධිපතිවරයා විසින්.

දෙදෙනෙකු අග‍්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා විසින් නම් කෙරෙනවා.

තවත් නියෝජිතයෙකු නම් කෙරෙන්නේ අග‍්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා අයත් නොවන පාර්ලිමේන්තුවේ සෙසු පක්ෂවලින්.

එම නියෝජත අසුන තමන්ට ලැබීමට තිබුණු බවයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හවුල්කාර පක්ෂ පවසන්නේ.

එහෙත් මේ වන විට එ සඳහා නම් කර සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ති‍්‍රවරයෙකු වන විජිත හේරත් මහතායි.

මෙමගින් පාර්ලිමේන්තු සම්ප‍්‍රදායන්ද උල්ලංගණය වී ඇතැයි උදය ගම්මන්පිල මහතා කියා සිටියා.

කථානායකවරයාගෙන් යහපත් ප‍්‍රතිචාරයක් නොලැබුණහොත් පාර්ලිමේන්තුව පවත්වාගෙන යාමට ඉදිරියේදී දිගින් දිගටම බාධා කරන බවද උදය ගම්මන්පිල මහතා පැවසුවා.

මේ අතර පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් විනයගරුකව කි‍්‍රයා කළ යුතු බව කථානායක කරු ජයසූරිය මහතා අවධාරණය කරනවා. පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් සඳහා ඊයේ (10) පැවැති වැඩමුළුවේදී ද දේශකයන් එ සම්බන්ධයෙන් උපදෙස් ලබාදුන් බවයි ඔහු කියා සිටියේ.