FAST NEWS

24×7 Around the Globe

ගාමිණී සෙනරත් ඇතුළු තිදෙනාට නිදහස (update)

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු තුන් දෙනා නිදොස් කොට නිදහස් කිරීමට ත්‍රිපුද්ගල විශේෂ විනිසුරු මඩුල්ල අද (08) නියෝග කළේය.

නඩුවේ තීන්දුව ලබාදුන්නේ සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන විනිසුරු මඩුල්ල විසිනි.

ගාමිණී සෙනරත්ට අමතරව මෙලෙස නිදොස් කොට නිදහස් කරනු ලැබූ අනෙක් විත්තිකරුවන් දෙදෙනා වන්නේ පියදාස කුඩාබාලගේ සහ ලසන්ත බණ්ඩාරයි.

මොවුන්ට එරෙහිව එල්ලවී ඇති චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට නොහැකිවීම හේතුවෙන් විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කරන බවයි විනිසුරු මඩුල්ල ප්‍රකාශ කරනු ලැබුවේ.

………………………………………………………………………………………………………………………………………………………………………………………………………

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ගාමිණී සෙනරත් මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව බස්නාහිර පළාත්බද ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වූ නඩුවේ තීන්දුව අද (08) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.

නීතිපතිවරයා ඔවුන්ට එරෙහිව නඩු පවරනු ලැබුවේ, ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500 ක මුදලක් සාවද්‍ය සාපරාදී පරිහරණය ඇතුළු අධිචෝදනා 24 ක් යටතේය.

2014 වසරේ පෙබරවාරි මස 01 වනදා 2015 වසරේ ජනවාරි මස 19 දක්වා කාලසීමාව තුළ ලිට්රෝ ගෑස් සමාගමට රුපියල් මිලියන 500 ක මුදලක් කැන්විල් හෝල්ඩිං සමාගම හරහා හෙලන්කෝ හොටෙල් ඇන්ඩ් ස්පා සමාගමේ ආයෝජනය කිරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් ගාමිණී සෙනරත් ඇතුළු විත්තිකරුවන් සිවු දෙනකුට එරෙහිව චෝදනා එල්ල වෙයි.