FAST NEWS

24×7 Around the Globe

පළමු කුඹල් පෙරහැර අදයි (05)

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද (05) වීදි සංචාරය කිරීමට නියමිත බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතා කියා සිටියි.

ඒ අනූව අපරභාග 06.01 ට දකුණු දිශාභිමුඛව දේවාලයන්ගෙන් පෙරහැර පිටත්ව, සිරිත් පරිදි ශ්‍රී දන්ත ධාතු මන්දිරය ඉදිරිපිටට පැමිණ රාත්‍රී 07.02 ට දකුණු දිශාභිමුඛව පෙරහැර දළදා වීදිය, ඩී.එස්. සේනානායක වීදිය ඔස්සේ පන්සල පාරේ ඉහළට  පැමිණ, දේවවීදිය, කොළඹ වීදිය, යටිනුවර වීදිය, රජවීදිය ඔස්සේ ඉහළට විත් ගෙවදීමට නියමිතයි.

මෙම පෙරහැර උඩරට නර්තන ශිල්පීන්ගෙන්, නැටුම් කණ්ඩායම් වලින් සහ අලි ඇතුන්ගෙන් විචිත්‍රවත් වෙයි.

කුඹල් පෙරහැර නැරඹීමට පැමිණෙන සුවිශාල මහජනතාවට ප්‍රමාණවත් වන පරිදි මාර්ග සකස් කර ඇති අතර ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පොලීසියේ සහ ත්‍රිවිධ හමුදාවේ පිරිස් බලයද වැඩිකර ඇත.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියා සිටියේ පෙරහැර නැරඹීමට පැමිණෙන ජනතාවගේ ආහාර සෞඛ්‍ය, සනීපාරක්ෂාව, වැසිකිලි කැසිකිළි පහසුකම් හා පානීය ජල පහසුකම් සම්බන්ධයෙන් මෙවර විශේෂ අවධානයක් යොමුකර  ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට අද දින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු දස දෙනෙකු සේවයේ යොදවා ඇති බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.