FAST NEWS

24×7 Around the Globe

තාජුඩීන් ඝාතනයට අදාළව අනුර සේනානායකට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය ඔක්තෝබරයේ

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වසීම් තාජුඩීන් ඝාතන සිද්ධියේ සාක්ෂි වසන් කල බවට හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය ලබන ඔක්තෝබර් 23 වනදා ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණය අද (30) නියම කළේය.

විත්තියේ නීතීඥවරුන්ට ලබාදිය යුතු ලේඛන කිහිපයක් සතියක් ඇතුළත ලබාදීමට පියවර ගන්නා ලෙසටත් අධිකරණය නීතිපතිවරයාට අද දැනුම් දුන්නේය.

විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ තම සේවාදායකයා මේ දක්වා කිසිදු ඇප කොන්දේසියක් කඩ කර නොමැති බවයි.

මේ හේතුවෙන් ඇප ලබා දීමේදී සෑම සතියකම ඉරු දින රහස් පොලීසිය වෙත වාර්තා කළ යුතු බවට අධිකරණය විසින් පනවනු ලැබූ ඇප කොන්දේසිය ලිහිල් කරන මෙන් ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් විනිසුරුවරයා සෑම සතියකම ඉරිදා රහස් පොලිසිය වෙත වාර්තා කළ යුතු බවට නිකුත් කරනු ලැබූ ඇප කොන්දේසිය සෑම මසකම අවසන් ඉරිදා පමණක් රහස් පොලිසිය වෙත වාර්තා කිරීම ප්‍රමාණවත් බවට සංශෝධනය කරනු ලැබුවේය.