FAST NEWS

24×7 Around the Globe

පොහොට්ටුව නව සන්ධානයකට අත්සන් තබයි (update)

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, දේශපාලන පක්ෂ කිහිපයක් සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹීම අද පෙරවරුවේ දී සිදුකරනු ලැබුවේය.

මෙම අත්සන් තැබීම විජේරාම මාවතේ පිහිටි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී සිදුකළේය.

ඒ අනුව මෙතෙක් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය නොකළ සහ පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්ෂ 10 ක් මෙලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ ගිවිසුම්ගතව ඇත.

මෙසේ ගිවිසුම්ගත වූ පක්ෂ වන්නේ ,

හේමකුමාර නානායක්කාරගේ මව්බිම ජනතා පක්ෂය, සතාසිවම්ගේ ලංකා කම්කරු එක්සත් පෙරමුණ,  කමල් නිශ්ශංකගේ ලිබරල් පක්ෂය,  සරත් මනමේන්ද්‍රගේ නව සිහළ උරුමය, අරුණ ද සොයිසාගේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරය, කරුණා අම්මාන් නොහොත් විනයාගමුර්ති මුරලිදරන්ගේ තමිල එක්සත් නිදහස් පෙරමුණ,
සරත් විජේරත්නගේ භූමිපුත්‍ර පක්ෂය, ජයන්ත කුලතුංගගේ එක්සත් ලංකා මහා සභාව, එස්.ජේ. තුෂ්යන්තන්ගේ ඊලවර් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ, මුබාරක් අබ්දුල් මජීඩ්ගේ මුස්ලිම් උලමා පක්ෂයයි.

මේ පිළිබඳව දේශපාලන පක්ෂ 29 ක් සමඟ සාකච්ඡා පවත්වා ඇත.

ඒ අතරින් දේශපාලන පක්ෂ 10 ක් සමඟ මෙලෙස පළමු වටයේදී අවබෝධතා ගිවිසුමට අත්සන් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

…………………………………………………………………………………………………………………………………………………………………………………………………

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග දේශපාලන පක්ෂ කිහිපයක් අද (26) අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට නියමිතව තිබේ.

ඒ, විජේරාම මාවතේ පිහිටි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදීයි.

දැනට ඒකාබද්ධ විපක්ෂය සමග කටයුතුකරන දේශපාලන පක්ෂ හැර නව දේශපාලන පක්ෂ සහ සංවිධාන 10 ක් අද ඊට අත්සන් තබන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා කියා සිටියේය.

මේ පිළිබඳව දේශපාලන පක්ෂ 29 ක් සමඟ සාකච්ඡා පවත්වා ඇති අතර, ඒ අතරින් දේශපාලන පක්ෂ 10 ක් සමඟ මෙලෙස පළමු වටයේදී අවබෝධතා ගිවිසුමට අත්සන් කිරීමට නියමිතව තිබේ.