FAST NEWS

24×7 Around the Globe

ඕස්ට්‍රේලියාව බලා ගිය ශ්‍රී ලාංකික සරණාගතයින් 20 ක් රැගත් බෝට්ටුවක් අත්අඩංගුවට

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යන ශ්‍රී ලාංකික සරණාගතයින් රැගත් බෝට්ටුවක් ඉන්දියන් සාගරයේ දී අත්අඩංගුවට ගත් බව වාර්තාවේ.

The Australian පුවත්පත මේ පිළිබඳව වාර්තා කොට ඇති අතර එහි පළ ව ඇති පරිදි මෙම යාත්‍රාවේ පුද්ගලයින් 20 දෙනෙකු පමණ සිටි ඇත. එය ඕස්ට්‍රේලියානු දේශසීමා බළකාය විසින් ගෙවුණු සති අන්තයේදී ඉන්දියන් සාගරයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

වාර්තාවන පරිදි මෙම යාත්‍රාවේ සිටි පිරිස නැවතත් කොළඹ බලා රැගෙන යාමට පෙර පරීක්ෂණ කටයුතු සඳහා ක්‍රිස්මස් දූපතට ගෙන යාමට නියමිතව තිබිණ. මෙහි මෙහෙයුම් කටයුතු පිළිබඳ අදහස් දැක්වීම ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍ය පීටර් ඩටන් ප්‍රතික්ෂේප කොට ඇති බව වාර්තා වේ.

“ඕස්ට්‍රේලියානු රජයේ ප්‍රතිපත්තිය වන්නේ නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට ළඟා වීමට අපේක්ෂා කරන ඕනෑම යාත්‍රාවකට බාධා කිරීම සහ රජයේ ගුවන් පහසුකම් මඟින් ඔවුන් පැමිණි ස්ථානයට හෝ උපන් රටට ආරක්ෂිතව ආපසු යැවීමයි” යනුවෙන් පීටර් ඩටන් අමාත්‍යවරයාගේ ප්‍රකාශකයෙක් පැවසී ය.

“ස්වර්ණමය දේශ සීමා මෙහෙයුම”නම් වන ලිබරල් සන්ධාන ආණ්ඩුවේ දේශසීමා මෙහෙයුම යටතේ, නීතිවිරෝධී සංක්‍රමණිකයින්ට බෝට්ටුවකින් නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට පැමිණීමට අවස්ථාවක් නැත.

මේ වසරේ මැයි මසදී පැවැත්වුණු ෆෙඩරල් මැතිවරණයෙන් පසු ඕස්ට්‍රේලියාවට පැමිණි තුන්වන සරණාගත බෝට්ටුව මෙය බව ද වාර්තා වේ.