FAST NEWS

24×7 Around the Globe

රාජ්‍ය ආයතනවල වියදම් කපා හැරීමට අදාළව චක්‍රලේඛයක්

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  රාජ්‍ය ආයතනවල වියදම් අවම කිරීමට පියවර ගන්නා ලෙස දැනුම්දෙමින් මුදල් අමාත්‍යාංශය භාණ්ඩාගාර ලේකම්වරයාගේ අත්සනින් යුත් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

අදාළ චක්‍රලේඛය සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් සභා ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් මෙන්ම සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල සභාපතිවරුන් වෙත යොමුකර ඇති බවත් වාර්තා වෙයි.

මෙම නිවේදනයෙන් දක්වා ඇත්තේ ,

පාස්කු ප්‍රහාරයෙන් පසු දිවයිනේ ආර්ථික කටයුතුවලට සහ රාජ්‍ය ආදායමට එල්ලවී ඇති අහිතකර පීඩනය පිළිබඳ සළකා බලා රාජ්‍ය ආයතන වඩාත් අරපිරිමැසුම්දායී ලෙස මුදල් වැය කළ යුතු බවයි.

එමෙන්ම විදුලි, ජල සැපයුම්, දුරකථන සේවා, ඉන්ධන මිලදී ගැනිම් සහ අනෙක් ගිවිසුම්ගත සේවාවන් සම්බන්ධයෙන් විධිමත් පාලන ක්‍රම යොදාගන්නා ලෙසත් දැනුම්දී තිබේ.

විදේශ සංචාර සහ අධ්‍යයන චාරිකා සම්බන්ධයෙන් වියදම් හැකිතාක් අවම කිරීමට කටයුතු කරන ලෙසද අදාළ චක්‍රලේඛය මගින් උපදෙස් ලබාදී ඇත.

ශ්‍රී ලංකාව වෙනුවෙන් නිල රාජකාරි අවශ්‍යතාවක් පැන නොනගින්නේ නම් දේශීය අරමුදල් මගින් වියදම් දරමින් විදේශ සම්මන්ත්‍රණ හා වැඩමුළු සඳහා නිලධාරීන් සහභාගී නොකළ යුතු බවත් අදාළ නිවේදනයේ සදහන් කර ඇත.

මීට අමතරව අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ ව්‍යවස්ථාපිත රාජ්‍ය ආයතනවල අතිකාල ගෙවීමේදී ආයතන සංග්‍රහයේ චක්‍රලේඛවල විධිවිධාන තරයේ පිළිපැදිය යුතු බවටද භාණ්ඩාගාර ලේකම්වරයා නිකුත් කළ නව චක්‍ර ලේඛය මගින් අවධාරණය කර තිබේ.