FAST NEWS

24×7 Around the Globe

වසර දෙකකින් ජාතික විදුලිබල පද්ධතියට තවත් මෙගාවොට් 1.3 ක්

(ෆාස්ට්නිව්ස් |කොළඹ) – මෙගාවොට් 1.3 ක් ජාතික විදුලි පද්ධතියට එක්කිරීමට නියමිත දැදුරුඔය කුඩා ජලවිදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය ච්මිපික ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) පෙරවරුවේ ආරම්භ කෙරිණි.

අතිගරු ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ  සහ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ ලංකා විදුලිබල මණ්ඩලයට පූර්ණ අනුබද්ධිත ශ්‍රී ලංකා එනජීස් පුද්ගලික සමාගම මෙම කුඩා ජලවිදුලි බලාගාර ව්‍යාපෘතියේ ඉදිකිරීම් භාරව කටයුතු කරනු ලබයි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ දැදුරුඹය ව්‍යාපෘතියට අනුබද්ධිතව ඉදිකෙරන මෙම කුඩා ජලවිදුලි බලාගාර ව්‍යාපෘතිය වසර දෙකක් වැනි කාලසීමාවක තුළ ඉදිකිරීම් කටයුතු අවසන් කර ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කිරීමට යෝජිත අතර  මෙම ව්‍යාපෘතිය සදහා රු. මිලියන 303 ක මූල්‍ය පිරිවැයක් දැරීමට සිදුවන බව ගණන් බලා ඇත.  ඒ අනුව ලංකා විදුලි පුද්ගලික සමාගමේ මූලික ආයෝජන මත මෙම මුදල සපයා ගැනීමට කටයුතු කරනු ඇත.

මෙම කුඩා ජලවිදුලි බලාගාර ව්‍යාපෘතිය ඉදිකිරීමේ යෝජනාව ඉදිරිපත්වී දීර්ඝ කාලයක් මෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම ඇනහිට තිබූ අතර විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ආගමනයත් සමගින් මෙම කුඩා ජලවිදුලි බලාගාර ව්‍යාපෘතිය නැවතත් ආරම්භ කිරීමට හැකිවී තිබේ.

මෙම සමාරම්භක අවස්ථාව වෙනුවෙන් විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශයේ, ලංකා විදුලිබල මණ්ඩලයේ සහ ශ්‍රී ලංකා එනජීස් ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විශාල පිරිසක් සහභාගි වූහ.