FAST NEWS

24×7 Around the Globe

ඔක්තෝබර් 15 න් පසු පළාත් සභා ඡන්දය පවත්වා ඵලක් නැහැ

(ෆාස්ට් නිව්ස් |කොළඹ) =  ඡන්ද විමසීම ප්‍රමාද කිරීම ශ්‍රී ලංකාවේ නීතියට අනුව බරපතළ වරදක් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.

අනාගතයේ ඡන්ද විමසීම් කල් යා හැකි භයානක තත්ත්වයක් තමන් දකින අතර, ඔක්තෝබර් 15 වැනිදායින් පසු පළාත් සභා ඡන්දය පවත්වා ඵලක් නොමැති බවත් ඒ මහතා අවධාරණය කරයි.

ඔහු මේ බව කියා සිටියේ පළාත් සභා ඡන්දයේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් කර්තෘ සංසදය නියෝජනය කරන පුවත්පත් කර්තෘවරු සහ ඒ මහතා අතර පැවැති සාකච්ඡාවකදීය.

එහිදී  වැඩිදුරටත් අදහස් දැක්වූ මැතිවරණ කොමිසමේ සභාපති,

“දැන් කියනවා ජනපතිවරණය කල් දැමීමට මැතිවරණ කොමිසම පළාත් සභා ඡන්ද විමසීමක් ගන්න හදනවා කියලා. පළාත් සභාව ඕන නැහැ කියනවා. නමුත් මේක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන දෙයක්. මෙහදී අපි භයානක දෙයක් දකිනවා. අනාගතයේ ඡන්ද විමසීම් කල් යන්න පුළුවන්.

මේ පළාත් සභා මැතිවරණය අපි පැවැත්වීමට උත්සාහ කරන්නේ ජනපතිවරණයට බාධා නොවන ලෙසයි. වෙනත් යටිකූට්ටු අභිලාෂයකින් නෙමෙයි. අපි අවුරුදු දෙකක් තිස්සේ මහන්සි වෙනවා. මේක ඔක්තෝබර් 15 වැනිදායින් පසුව ඡන්දය තියලා වැඩක් නැහැ.

පළාත් සභා මැතිවරණය තියන්න ඕන කියලා අපි වැඩ පටන් ගත්තේ ගිය 2017 සැප්තැම්බර් 28 වැනිදා සිටයි. එදා ඉඳලම අපි ඡන්ද විමසීම ගැන උනන්දුයි. ඡන්ද විමසීම ප්‍රමාද කිරීම අපේ රටේ හැටියට බරපතළ වරදක්. එක්සත් ජාතීන්ගේ සංවිධානයත් කියන්නේ නිසි කලට පැවැත්වෙන ඡන්ද විමසීම්වලින් ජනතා කැමැත්ත ප්‍රකාශ වෙනවා කියලා.”