(ෆාස්ට් නිව්ස් – කොළඹ) – පසුගිය වසරවලදී වාර්තා වූ දෙවැනි ප්‍රභේදයේ ඩෙංගු වයිරසය වෙනුවට තුන් වැනි සහ සිව්වැනි ප්රභේදවල ඩෙංගු වයිරස මේ වනවිට වාර්තා වෙමින් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය පැවැසුවාය.
එසේම මේ දිනවල ඩෙංගු රෝගීන් වාර්තා වීමේ වැඩිවීමක් පවතින බවද ඇය පෙන්වා දුන්නේය.
ඩෙංගු රෝගය වයිරස් කාණ්ඩ 04 කින් සෑදෙන බවත් ඒ නිසා එක් පුද්ගලයකුට හතර වතාවක් ඩෙංගු වැලඳීමේ අවදානම තිබෙන එහිදී යළි ඩෙංගු රෝගයකට ගොදුරු වීම ඉතා දැඩි අවදානමක් බවද ඇය පැවැසුවාය.
ඒ නිසා ඩෙංගු රෝගය අවම කර ගැනීමට තම නිවෙස මෙන්ම අවට පරිසරය ඩෙංගු කීටයන් බෝ නොවන ලෙස පවත්වාගෙන යායුතු බවද ඇය කියා සිටියාය.
වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 25,267 දෙනකු වාර්තා වී ඇති අතර ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් බවත් ඒ පිරිස 10,522ක් බවත් ඇය පෙන්වා දුන්නාය.








