(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලිට්රෝ ගෑස් සමාගමට අදාළව හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුවේ තීන්දුව අගෝස්තු මස 08 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය නියම කළ බව අප අධිකරණ වාර්තාකරු කියයි.
එම සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා සම්බන්ධයෙන්මෙම නඩුව ගොනු කර තිබුණී.
සම්පත් අබේකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නඩුව අද (09) කැඳවූ අවස්ථාවේදී විත්තිය සහ පැමිණිලි පාර්ශ්වයෙන් නඩුවට අදාළ ලිඛිත දේශනා භාර දී තිබේ.
ඒ අනුව වැඩිදුර ලිඛිත දේශන තිබේනම් ඒවා ලබන දොළොස් වන දා ඉදිරිපත් කරන ලෙස අධිකරණය දෙපාර්ශවයේ නීතිඥවරුන්ට දන්වා තිබේ.
2014 වසරේ පෙබරවාරි මස 01 වනදා 2015 වසරේ ජනවාරි මස 19 දක්වා කාලසීමාව තුළ ලිට්රෝ ගෑස් සමාගමට රුපියල් මිලියන 500 ක මුදලක් කැන්විල් හෝල්ඩිං සමාගම හරහා හෙලන්කෝ හොටෙල් ඇන්ඩ් ස්පා සමාගමේ ආයෝජනය කිරීම තුළින් මෙම සාවද්‍ය පරිහරණය කර ඇති බවට නීතිපතිවරයා විසින් චෝදනා ගොනු කරණූ ලැබීය.








