FAST NEWS

24×7 Around the Globe

නාවික හමුදාව විසින් නව කොරල් පරයක් කන්කසන්තුරේ මුහුදු ප්‍රදේශයෙන් සොයාගනී

(ෆාස්ට්නිව්ස්|කන්කසන්තුරේ) – උතුරු නාවික විධානයට අනුයුක්ත නාවික කිමිදුම් කණ්ඩායමක් විසින් පසුගිය සතිය පුරා කන්කසන්තුරේ මුහුදු ප්‍රදේශයේ සිදුකල කිමිදුම් මෙහෙයුමකින් මෙතෙක් සොයාගෙන නොතිබූ ඉතා දැකුම්කළු කොරල්පරයක් සොයාගැනීමට සමත්වී ඇත.

ඒ අනුව, උතුරු නාවික විධාන භාර ආඥාපති රියර් අද්මිරාල් කපිල සමරවීරගේ අධික්‍ෂණය යටතේ විධාන කිමිදුම් නිලධාරි සහ කිමිදුම් කාර්ය මණ්ඩලය විසින් කන්කසන්තුරේ වරාය පරිශ්‍රයෙන් මෙතෙක් නොදුටු කොරල් පරයක් සොයා ගැනීමට සමත්වී ඇත. මෙම කොරල් පරය දියකඩනයේ මුහුදු දෙසින් මීටර් 400 ක් පමණ දිගට විහිදී ඇත.

සාගරයේ ජෛව විවිධත්වය සමතුලිත කිරීම සඳහා අත්‍යවශ්‍ය අංගයක් ලෙස කොරල් පර හඳුන්වා දිය හැකි අතර, ස්වාභාවික හේතූන් නිසා හෝ හානිකර මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ඒවා දිරාපත් වේ. මෙම තත්වය සැලකිල්ලට ගනිමින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා‍ ගේ උපදෙස් මත උතුරු මුහුදේ දිය යට ස්ථාන සංරක්ෂණය කර මෙම කොරල් පර ආරක්ෂා කිරීමට උතුරු නාවික විධානය කටයුතු කරමින් සිටී.