FAST NEWS

24×7 Around the Globe

ඇසළ පෙරහැර මංගල්‍යයේ සියලු කලාකරුවන්ට හැඳුනුම්පතක්

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය සඳහා සහභාගී වන සියලුම කලාකරුවන්ට මහනුවර පොලීසිය මගින් විශේෂ හැඳුනුම්පතක් ලබා ගැනීම අනිවාර්ය කර තිබේ.

මෙම කලාකරුවන්ට අමතරව අලි ඇතුන් සමඟ පෙරහැරේ ගමන් ගන්නා ඇත්ගොව්වන්ටද අදාළ හැඳුනුම්පත අනිවාර්ය කර තිබේ.

මෙම හැඳුනුම්පත නිකුත් කිරීමට පෙර ශ්‍රී දළදා මාලිගාව හා සතර මහ දේවාළ නියෝජනය කරමින් දළඳා පෙරහැරට සහභාගි වන කලාකරුවා තමන් පදිංචි ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී මගින් පදිංචිය සනාථ කළ ලිපියක් ලබාගෙන එය ළඟම ඇති පොලිස් ස්ථානයට ඉදිරිපත් කර පොලිස් වාර්තාවක් ලබා ගත යුතුවේ.

පොලීසිය මගින් නිසි පරීක්ෂාවකින් පසු නිකුත් කරනු ලබන පොලිස් සහතිකය මහනුවර කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පෙරහැර මංගල්‍යය සඳහා සහභාගි වීම සඳහා වන හැඳුනුම්පත නිකුත් කිරීමට නියමිතව ඇත.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයත් සමඟ රටේ ඇතිවූ ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගෙන විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් යටතේ මෙවර මහනුවර ඇසැළ පෙරහැර සංවිධානය කිරීමට දිවවඩන නිළමේවරයා ප්‍රමුඛ සතර මහ දේවාළ බස්නායක නිළමේවරු තීරණය කර තිබේ.

අනිකුත් වසර වලට වඩා මෙවර පෙරහැරට සම්බන්ධ කෙරෙන ශිල්පී කණ්ඩායම් ප්‍රමාණය අඩු කිරීමට පෙරහැර සංවිධායකයින්ගේ අවධානය යොමුව තිබේ.