FAST NEWS

24×7 Around the Globe

ඇමති රාජිතගෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට එන්තර වාසියක්

(ෆාස්ට් නිව්ස්|කොළඹ) – රුපියල් බිලියනයක මුදලක් සති 03 ක් ඇතුලත ගෙවන ලෙස ඉල්ලා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ  එන්තරවාසියක් යොමු කර ඇත.

ඒ රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ ප්‍රකාශ හේතුවෙන් සමාජයට වැරදි මත ඉදිරිපත්වීම නිසා තම කීර්ති නාමයට සිදු වූ හානියට වන්දි ලෙසයි.

2019 ජුනි මස 24 දින මෙම එන්තරවාසිය යොමු කරඇති අතර සති 03 ක් තුල අදාල මුදල නොගෙවන්නේ නම් වැඩිදුර නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද නියමිත බව එම එන්තරවාසියේ සදහන් කර තිබේ.

1994 වසරේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දන්ත පීඨයේ උපාධිධාරියෙකු වන අතර වසර 25 ක කීර්තිමත් දේශපාලන ඉතිහාසයක් ඇති ඔහු කළුතර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන බව එන්තරවාසියේ සදහන් වේ.

2019 ජුනි 17 දින හෝ ඊට ආසන්න දිනයක දී රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පුළුල් මාධ්‍ය ආවරණයක් සහිතව මාධ්‍යහමුවක් පවත්වා සිදු කළ ඇතැම් ප්‍රකාශ හේතුවෙන් තම කීර්තිනාමයට හානියක් සිදු වූ බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා එන්තරවාසියෙන් දැනුම් දී තිබේ.

වැරදි තොරතුරු ඉදිරිපත් කරමින් ඖෂධ ආනයනය කිරීමේ දී රුපියල් බිලියන 20 ක මුදලක් රජයට අහිමි කළ බව ප්‍රකාශ කිරීම, ගුණාත්මකභාවයෙන් තොර ඖෂධ ආනයනය කිරිම, ශ්‍රී ලාංකිකයින්ට එරෙහි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම, සුවපති කිරුළ සදහා රජයේ මුදල් අවභාවිතා කිරීම වැනි වටිනාකමකින් තොර වගකීම් රහිත ද්වේෂ සහගත අසත්‍ය ප්‍රකාශ එම මාධ්‍ය හමුවේ දී ඉදිරිපත් කර ඇති බව එන්තරවාසියේ දැක්වේ.