(ෆාස්ට් නිව්ස් – කොළඹ) – පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට ලැබුණු සහ ලබාගත් දුරකථතන ඇමතුම් මකා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම සමාගමේ අර්ජුන ඇලෝසියස් ඇතුළු සැකකරුවන් හතර දෙනකුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල අගෝස්තු මස 29 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (25) නියම කළේය.
මහ බැංකු බැඳුම්කර සිද්ධිය පිළිබඳ සොයා බැලූ ජනාධිපති කොමිසමේ විමර්ශන සඳහා පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට ලැබුණු සහ ලබාගත් දුරකථන ඇමතුම් අඩංගු සංයුක්ත තැටි එම සමාගම විසින් අදාළ කොමිසම වෙත භාරදී තිබු අතර එහි ඇතැම් ඇමතුම් මකා දමා තිබෙන බවට එම කොමිසම හමුවේ කරුණු අනාවරණය විය.
ඒ අනුව අදාළ සිද්ධිය පිලිබඳව පරීක්ෂණයක් සිදුකරන මෙන් අදාළ කොමිසම විසින් රහස් පොලීසියට නියෝගයක් කර තිබු අතර ඒ අනුව මෙම පරීක්ෂණය ආරම්භ කර තිබේ.
දුරකතන ඇමතුම් අඩංගු සංයුක්ත තැටි රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර තිබුණත් එහි පරීක්ෂණ වාර්තාව මෙතෙක් ලැබී නොමැති බව දැනූම් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව අධිකරණය වෙත දැනුම් දුන්නේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය අදාළ සංයුක්ත තැටි පිළිබඳ විශ්ලේෂණ වාර්තාව කඩිනමින් ඉදිරිපත් කරමින් දන්වා රජයේ රස පරීක්ෂකවරයා වෙත සිහිකැඳවීමක් යොමු කිරීමට නියම කළේය.
ඒ අනුව පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අගෝස්තු මස 29 දා ඉදිරිපත් කරන මෙන් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට නියම කළේය.
මෙහි සැකකරුවන් ලෙස පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ අර්ජුන ඇලෝසියස්, කසුන් පලිසේන, නුවන් තිලිණ සල්ගාදු සහ සචින් දේවතන්ත්රී යන අය නම් කර තිබේ.








