FAST NEWS

24×7 Around the Globe

වරප්‍රසාද හා ඇමැතිවරු

යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණ සම්මුතිවාදී ආණ්ඩුවේ කැබිනට් ඇමැතිවරුන් 43දෙනකු ඉකුත් සිකුරාදා දිවුරුම් දෙනු ලැබීය. මෙවර කැබිනට් මණ්ඩලයේ සාමාජික සංඛ්‍යාව 48කි. රාජ්‍ය ඇමැතිවරුන් හා නියෝජ්‍ය ඇමැතිවරුන් සමඟ ඇමැති මණ්ඩලය 93දෙනකගෙන් සමන්විත වනු ඇත. ඇමැති මණ්ඩලයේ විශාලත්වය සම්බන්ධයෙන් දැනටමත් විවේචන එල්ල වෙමින් පවතී. පැවැති රාජපක්ෂ ආණ්ඩුවේ සම්පූර්ණ ඇමැති මණ්ඩලය සාමාජිකයන් 106ක් වූ අතර අමාත්‍යාංශ අධීක්ෂණය සඳහා ‘අධීක්ෂණ මන්ත්‍රිවරුන්’ පිරිසක්ද පත්කර සිටියේය.

ඉකුත් ජනවාරියේ මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු සම්මත කර ගත් 19 වැනි සංශෝධනයට ‘ආණ්ඩුව’ කැබිනට් ඇමැතිවරුන් 35කට නොවැඩි විය යුතු බවට ඇතුළත් කෙරුණේ එවැනි ‘මෙගා’ ඇමැති මණ්ඩල පත් කිරීම වැළැක්වීම සඳහාය. එහෙත් ජාතික නමින් හැඳින්වෙන ‘හවුල්’ ආණ්ඩුවක් පිහිටුවීමේදී පාර්ලිමේන්තු අනුමැතියෙන් කැබිනට් ඇමැතිවරුන් සංඛ්‍යාව වැඩි කර ගත හැකි වේ. කැබිනට් ඇමැතිවරුන් සංඛ්‍යාව 35 සිට 48 දක්වා ඉහළ ගොස් ඇත්තේ ඒ අනුවය.

ප්‍රශ්නය ඇමැතිවරුන් සංඛ්‍යාව නොවේ. මේ ඇමැතිවරු පිරිසට ලැබෙන වරප්‍රසාද මොනවාද යන්නය. රට හැදීමට ‘ඇමැතිවරුන්’ මේ තරම් සංඛ්‍යාවක් අවශ්‍ය නම් ජනතාව ඊට එරෙහි වන්නේ නැත. එහෙත් තම බදු මුදල් අසීමිත ලෙස මේ ඇමැතිවරුන් වෙනුවෙන් වැය කිරීමට ඔවුහු කිසිසේත් එකඟ නොවෙති. එක් පක්ෂයක ආණ්ඩුවකට වේවා, හවුල් ආණ්ඩුවකට වේවා ඇමැතිවරුන් 25ත්් 35ත් අතර ගණනක් ප්‍රමාණවත්ය. විද්‍යාත්මකව විෂය වෙන් කරන්නේ නම් මේතරම් අමාත්‍යාංශ ගණනක් රටට අවශ්‍ය නැත.

කෙසේ වුවද පැවැති ආණ්ඩුවේ මැති – ඇමැතිවරුන්ට හිමි වූ ඇතැම් වරප්‍රසාද නව ආණ්ඩුවේ මැති – ඇමැතිවරුන්ට ලබා නොදීමට තීරණය කර තිබේ. ඒ අනුව ආරක්ෂක රථ පිරිවරාගෙන ගමන් බිමන් යෑමට ඇමැතිවරුන්ට නොහැකි වනු ඇත. ජනාධිපති, අගමැති හා විපක්ෂ නායක හැර ආරක්ෂක රථ සෙස්සන්ට ලබා දෙන්නේ ‘ආරක්ෂාව’ පිළිබඳ තර්ජනයක් ඇතැයි තහවුරු වුවහොත් පමණක් බව දැනගන්නට ඇත.

88 – 89 ‘ධවල භීෂණ’ සමයේ මැති – ඇමැතිවරුන්ට ගිනි අවි හා ආරක්ෂකයන් ලබා දුන් අතර දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ සන්නද්ධ සටන මර්දනය කිරීමෙන් පසුවද ඒ ගිනි අවි හා ආරක්ෂකයන් පාවිච්චි කිරීමට බොහෝ මැති – ඇමැතිවරුන්ට ඉඩ ලබා දී තිබිණි. ඊළාම් යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස දැඩි ආරක්ෂාවක් මැති – ඇමැතිවරුන්ට ලබා දීමට රජයට සිදුවිය. ඊට දැරීමට සිදුවූ වියදම අති විශාලය. යුද බිය පහව ගොස් මේ වන විට හය වසරක් ගතවී තිබුණද තවමත් මැති – ඇමැතිවරුන්ට ලබා දෙන ආරක්ෂාව අඩු – වැඩියෙන් එලෙසම පවතී.

ඉකුත් ආණ්ඩුවේ ඇතැම් මැති – ඇමැතිවරුන්ට චෝදනා එල්ල වූයේ නිල නිවාසවල වතුර බිල්, විදුලි බිල්, දුරකතන බිල් පමණක් නොව ඉන්ධන වියදම්, දිනපොත් ඇතුළු ලිපි ද්‍රව්‍ය වියදම්, සංග්‍රහ වියදම් සඳහා අතදිග හැර වැය කර ඇති බවය. මේ නාස්තිකාර වියදම් පිළිබඳ චෝදනා ඉකුත් ආණ්ඩුවේ පමණක් නොව ඊට පෙර පැවැති ආණ්ඩුවල මැති – ඇමැතිවරුන්ටද එල්ල විය. විශේෂයෙන්ම 1977 සිට බලයට පත්වූ ආණ්ඩුවල ඇමැති මණ්ඩල සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ යෑම නිසා මැති – ඇමැති නඩත්තුවට වැය වන මුදල් ගැන ජනතාවගේ අවධානය වැඩි වැඩියෙන් යොමු විය. ‘රාජපක්ෂ ආණ්ඩුව’ අප්‍රසාදයට පත්වීමට ‘මෙගා’ ඇමැති මණ්ඩලයද එක් හේතුවක් විය.

යහ පාලනයට ප්‍රතිඥා දී ඇති මේ ආණ්ඩුව ඒ වැරැදි නිවැරැදි කළ යුතුය. ඡන්දදායක ජනතාව පාර්ලිමේන්තුවට තෝරා පත් කර එවා ඇති නියෝජිතයන්ගෙන් බහුතරයකට ඇමැති ධුරයක් නොමැතිව ‘ජනතාව’ වෙනුවෙන් අතක්වත් එසවීමට නොහැකි වී ඇති නිසා ඇමැති ධුර සියයට ආසන්න සංඛ්‍යාවක ‘බර’ පොදු ජනතාවට දැරීමට සිදුවී ඇත. ජනාධිපති හා අගමැති දෙපොළගේ වගකීම වන්නේ මැති – ඇමැතිවරුන්ට හිමිව ඇති ‘වරප්‍රසාද’ දැඩි ලෙස කප්පාදු කර දමා ඒ ‘බර’ හැකි තරම් ‘අඩු’ කිරීමය.

දේශපාලනඥයන් රහසින්වත් ‘වැරැදි’ නොකළ යුතු යැයි ඇමැතිවරුන් දිවුරුම් දුන් අවස්ථාවේ ජනාධිපතිවරයා පැවැසීය. අගමැතිවරයා එහිදී කියා සිටියේ රටටත් මහජනතාවටත් සේවය කිරීමට මැති – ඇමැතිවරුන් ඇප කැප විය යුතු බවය. ඒ නිසා ‘වැරැදි’ කරන මැති – ඇමැතිවරුන්ට ‘දඬුවම්’ ලබා දීමටත්, හැකි පමණ වරප්‍රසාද කප්පාදු කිරීමටත් පියවර ගැනීමට දෙවරක් සිතිය යුතු නැත. එවැනි ආදර්ශවත් පාලනයක් තුළ ඇමැතිවරුන් ‘සංඛ්‍යාව’ ගැන පොදු ජනතාව එතරම් ‘වද’ නොවනු ඇත.

මවිබිම