FAST NEWS

24×7 Around the Globe

දකුණු පළාත් හිටපු SDIG රවි විජේගුණවර්ධන CID යට කැඳවයි

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – රත්ගම ප්‍රදේශයේ තරුණයන් දෙදෙනකු පැහැරගෙන ගොස් වධහිංසා පමුණුවා ඝාතනය කොට පුලුස්සා දැමීමේ සිද්ධියට අදාළව ප්‍රශ්න කිරීම සඳහා දකුණු පළාත් හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි විජේගුණවර්ධන මහතාට හෙට (19) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසට දන්වා ඇති බව පොලිස් ආරංචි මාර්ග කියයි.

මෙම ද්විත්ව ඝාතනයට අදාළව ප්‍රථම වරට ඔහුගෙන් මෙලෙස ප්‍රශ්න කිරීමට නියමිතව ඇත.

ඔහුගේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වූ දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් ඉකුත් ජනවාරි 23 වැනිදා රසීන් චින්තක (31) සහ මංජුල අසේල (33) නමැති මෙම තරුණයන් දෙදෙනාව පැහැරගෙන ගොස් පසුව ඝාතනය කර තිබිණි.

ඝාතනය කළ තරුණයන් දෙදෙනා පසුව වලස්මුල්ල ප්‍රදේශයේ රක්ෂිතයකට ගෙනැවිත් පුලුස්සා දමා තිබිණි.

මෙම ඝාතන සිද්ධියට අදාළව දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් හත්දෙනකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටිති.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මීට අදාළව විමර්ශන ආරම්භ කිරීමත් සමඟ දකුණු පළාත් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිව කටයුතු කළ රවි විජේගුණවර්ධන මහතා පොලිස් මූලස්ථානයට ස්ථාන මාරු කෙරිණි.

අනතුරුව ඔහු උතුරු පළාත් භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්වීම් ලැබුවේය.