FAST NEWS

24×7 Around the Globe

මිහින්තලේ ප්‍රදේශීස සභාවේ මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – මිහින්තලේ පුද බිමට පිවිසෙන පිවිසුම් මාර්ගයේ දී තරුණයන් පිරිසකට අද (17) අලුයම පොල්ලකින් පහරදී බරපතල තුවාල සිදු කළැයි කියන මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකු වන රණසිංහ ආරච්චිලාගේ නිපුන මධුසංඛ රණසිංහ නැමති අත්අඩංගුවට ගත් බව මිහින්තලය පොලිසිය කියයි.

මිහින්තලේ පුද බිමට පිවිසෙන පිවිසුම් මාර්ගයේ දී එම ස්ථානයේ රැදි සිටි තරුණයන් පිරිසක් සහ මන්ත්‍රීවරයාගේ ආධාරකරුවන් පිරිසක් අතර ඇතිවූ බහින්බස් වීමක් දුරදිග ගොස් මෙම පහරදීම සිදුව ඇති බව පොලිසිය කියයි.

මෙම ගැටුමේදී මන්ත්‍රීවරයා විසින් තමන්ට පොල්ලකින් පහරදුන් බවද ගැටුමෙන් තුවාල වුවන් විසින් පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වන බව පැවසේ.

සිද්ධියෙන් තුවාල ලැබු සිව් දෙනෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කළ ඇති අතර තවත් පුද්ගලයකු මිහින්තලය රෝහලට ඇතුළත් කර ඇති බවත් කියැවේ.

සිද්ධියෙන් මන්ත්‍රීවරයාට ද සුළු තුවාල සිදුව ඇතැයි පොලිසිය කියයි.

තුවාලකරුවෝ සියඹලාගස්වැව,කන්නනට්ටිය සහ කලත්තෑව පදිංචි අවුරුදු 20 ත් 25 ත් අතර වියේ පසුවන්නන්නෝ බවත් පැවසේ.

අත්අඩංගුවට ගනු ලැබු සැකකාර මන්ත්‍රීවරයා අද (17) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් මිහින්තලය පොලිසිය වැඩි දුරටත් කියයි.