(ෆාස්ට් නිව්ස් – කොළඹ) – 2017 අප්‍රේල් මස කොළඹ පැවති මහජන රැස්වීමකදී අදහස් දැක්වූ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිබඳව අභියාචනාධිකරණය මඟින් ප්‍රකාශයට පත්කරන ලද නඩු තීන්දුවක් දැඩි ලෙස විවේචනය කරමින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල විභාග කිරීම සඳහා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා විසින් නව විනිසුරු මඬුල්ලක් පත් කිරීමට අද (14) කටයුතු කර තිබේ.
එ අනුව ශිරාන් ගුණරත්න සහ මහින්ද සමයවර්ධන යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල පත් කරන බව සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා නිවේදනය කර තිබේ.
ඒ අනුව එම විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම ලබන 21 වනදා කැඳවන බවද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා නියෝග කළ බව අප අධිකරණ වාර්තාකරු පැවසීය.
පුරවැසි බලය සංවිධානය කැදවුම්කරුවන් වන මහාචාර්ය සරත් විජේසුරිය සහ ගාමිණී වියන්ගොඩ යන මහත්වරු විසින් අදාළ පෙත්සම් ගොනු කර තිබේ.








