FAST NEWS

24×7 Around the Globe

ප්‍රථම වතාවට විභාග සහතික පැය 24 ක් තුළ ලබාගැනීමේ පහසුකම

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරනු ලබන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සහතික පත් ලබාගැනීමට මේ වනතෙක් සිදුකෙරුණේ, විභාග දෙපාර්තමේන්තුව වෙත පැමිණ අයදුම්කිරීම් මතයි.

මෙහිදී අයදුම්කරුවන්ට දිවයිනේ කවර ප්‍රදේශයක සිට හෝ විභාග දෙපාර්තමේන්තුව වෙත පැමිණීමට සිදුවීම, දිනපතා අයදුම්කරුවන් විශාල පිරිසක් පැමිණීම හේතුවෙන් සහතික පත් නිකුත් කිරීමේ ක්‍රියාවලිය වෙනුවෙන් වැඩි කාලයක් ගතවීම වැනි ගැටළු මතුව තිබේ.

ඒ අනුව, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සහතික පත් ලබාගැනීම වෙනුවෙන් විභාග දෙපාර්තමේන්තුවට පැමිණීම මින් ඉදිරියට අවශ්‍ය නොවන අතර, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ අලුතින් යාවත්කාලීන කරන ලද www.doenets.lk නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ඕනෑම අයදුම්කරුවෙකුට පැය 24ක් වැනි කෙටි කාලයක් තුළ අදාළ සහතික ඉතා පහසුවෙන් ලබාගත හැකියි.

අධ්‍යාපන අමාත්‍යතුමන්ගේ විශේෂ උපදෙස් මත විභාග දෙපාර්තමේන්තුව නවීකරණය කිරීම වෙනුවෙන් 2017 ඔක්තෝබර් මස පත් කළ විද්වත් කමිටුවේ විද්‍යාත්මක නිර්දේශ මත ක්‍රියාවට නංවන ලද ප්‍රතිපත්තිමය තීරණයක් අනුව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මකයි.