(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ දරුවන්ට සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සඳහා ඔවුන් පදිංචි රටේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල මගින් පෙනී සිටීමට ක්‍රමවේදයක් සකස් කරන ලෙසට විභාග දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සදහන් කරයි.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අ.පො.ස.සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සහතිකපත් මාර්ගගත (online) ක්‍රමයට නිකුත් කිරීම ඇරඹීම නිමිත්තෙන් විභාග දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ ඊයේ (11) පස්වරුවේ පැවති උත්සවයක් අමතමින්.
එහිදී අමාත්‍යවරයා කියා සිටියේ විභාග සහතික ඔන්ලයින් ක්‍රමයට නිකුත් කිරීමේ වැඩපිළිවෙල සිදුකළ යුතුව තිබුණේ මීට දශක කිහිපයකට ඉහතදී බවත්ය.
විභාග දෙපාර්තමේන්තුවේ ඩිජිටල්කරණය ඇතුළු සෑම කාර්යක්ම වෙනුවෙන්ම අවශ්‍ය මුදල් ලබාදෙනු ලැබුවේ යැයි ද අමාත්‍යවරයා පැවසීය.
තමා අධ්‍යාපන අමාත්‍ය පදවියට පත්වී වසර 04ක කාලය තුළ බොහෝ විප්ලවීය හා සාධනීය වෙනස්කම් රැසක් ක්‍රියාත්මක කළ බවත්, නිර්භයව තීරණ ක්‍රියාත්මක කිරීමට යාමේදී නොයෙක් පැති වලින් එල්ල වන ප්‍රහාරයන්ට ලක්වීමට සිදු වූ බවත් සිහිපත් කළ අමාත්‍යවරයා මෙතෙක් ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ ටැබ් පරිගණක ලබාදීමේ වැඩසටන කෙසේ හෝ ක්‍රියාවට නංවන බවත් වැඩිදුරටත් සදහන් කළේය.








