FAST NEWS

24×7 Around the Globe

රාමසාන් උත්සවය වෙනුවෙන් ජනපති, අගමැති හා විපක්ෂ නායකගෙන් සුභ පැතුම්

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රාමසාන් වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සුබපැතුම් පණිවුඩයක් එක් කරමින් කියා සිටියේ අනෙකාගේ මනුෂ්‍යත්වයේ උදාර බවට ගරු කරන්නට උගන්වන කවර හෝ දහමක් මනුෂ්‍යත්වයේ පොදු රැහැනින් වෙන් වන්නට තම මිනිස් සමූහයට මග නොපෙන්වන බවයි.

ඉස්ලාම් දහමද එබඳු බව සඳහන් කරන ජනාධිපතිවරයා, අප වටා රැඳී ඇති අවිශ්වාසයේ සහ සැකයේ අඳුර දුරුවී සහෝදර මිනිසුන් ලෙස අත්වැල් බැඳ ගැනීමට හැකි අනාගතයක් වෙනුවෙන් සියලු ඉස්ලාම් බැතිමතුන් යාඥා කරනු ඇතැයි අපේක්ෂා කරන බව කියා සිටියා.

අග්‍රාමාත්‍යවරයා තම සුභ පැතුම් පණිවිඩයෙන් පවසන්නේ ඉස්ලාම් දහම තුළ පවතින අධ්‍යාත්මික හර පද්ධතිය මෙන්ම මානව හා සමාජ වටිනාකම් මැනවින් හඳුනාගැනීමට රාමසාන් උත්සවය කදිම අවස්ථාවක් බවයි.

ජාති ආගම් භේදයෙන් තොරව එකම ශ්‍රී ලාංකික ජනතාවක් ලෙස එක්සත්ව මව්බිම අභිවෘද්ධිය කරා ගෙන යාමට සහ නිදහස, සමානාත්මතාව රජයන සමාජයක් ගොඩනැංවීමට සියලුදෙනා කැපවිය යුතු බවද අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ පණිවුඩයේ වැඩිදුරටත් සඳහන්.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ද රාමසාන් වෙනුවෙන් සුබපැතුම් එක් කරමින් සියලු මුස්ලිම් පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ ශුද්ධ වූ අල් කුරානයේ ඉගැන්වීම් සහ නබිතුමන්ගේ මග පෙන්වීම් සිහියට ගෙන අතීතයේ සිට අනුගමනය කළ සහජීවන ප්‍රතිපත්තියට තව තවත් කැපවී ක්‍රියා කරන ලෙසටයි.