(ෆාස්ට් නිව්ස් – කොළඹ) – පාස්කු ඉරුදින ෂැන්ග්‍රිලා හෝටලයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ බෝම්බකරුට අයත් බව කියන වැල්ලම්පිටිය තඹ කම්හලේ සේවය කළ කරුපයියා රාජේන්ද්‍රන් හෙවත් අබ්දුල්ලා නැමැති සැකකරු ලබන 10 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරිමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (27) නියෝග කර තිබේ.
මීන් පෙර අධිකරණය මඟින් නිකුත් කළ නොතීසියකට අනුව ඇප මත මුදාහැර සිටින සෙසු සැකකරුවන් 08 දෙනාද අධිකරණය හමුවේ පෙනී සිටි අතර ඔවුන්ට හෙට (30) දින සිට ජුනි මස 10 වනදා දක්වා ත්‍රස්ත මර්දන කොට්ඨාශය හමුවට ගොස් ප්‍රකාශ ලබා දෙන්නැයි නියෝග කළ බව අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.
වැඩබලන පොලිස්පතිවරයාගේ නියෝග පරිදි මෙම සිද්ධිය පිළිබඳව ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශය මගින් පරීක්ෂණ ආරම්භ කර ඇති බව ත්‍රස්ත විමර්ශන කාර්යාංශය නිලධාරියා අද (27) අධිකරණය වෙත දන්වා තිබේ.
ඒ මෙම නඩුවේ කරුපයියා රාජේන්ද්රූන් හෙවත්නැ අබ්දුල්ලා නමැති සැකකරු ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායකයා සමඟ සමීප සම්බන්ධතා පවත්වා ඇති බවට තොරතුරු හෙළිවී ඇති බවත් ඒ අනුව ඔහුට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පරීක්ෂණ කටයුතු කරන බවත් හෙතෙම අධිකරණය වෙත සඳහන් කර ඇත.
ඒ අනුව අදාළ සැකකරු තවදුරටත් ලබන 10 වනදා දක්වා රිමාන්ඩ් භාරයට පත්කරන ලෙස ත්‍රස්ත මර්දන කාර්යාංශයේ නිලධාරියා අධිකරණයෙන් ඉල්ලා තිබේ.
එසේම මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදාහැර සිටින සෙසු සැකකරුවන් නවදෙනා ත්‍රස්ත ක්‍රියාකාරකම් වලට සම්බන්ධ බවට මෙතෙක් කරුණු අනාවරණය වී නොමැති බව සඳහන් කළ ත්‍රස්ත මර්දන කොට්ඨාසයේ නිලධාරීන් ඔවුන් සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරන බව දැනුම් දී ඇත.








