FAST NEWS

24×7 Around the Globe

පාසල්වලට ඇතුළ්වීමේ දී මුහුණු ආවරණ සහිත ඇඳුම් හා ආරක්ෂක හිස් ආවරණ පැළැඳීම සම්බන්ධයෙන් ලිපියක්

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – පාසල්වලට ඇතුළ්වීමේ දී මුහුණු ආවරණ සහිත ඇඳුම් හා ආරක්ෂක හිස් ආවරණ පැළැඳීම සම්බන්ධයෙන් නියෝග ද ඇතුළත් විශේෂ ලිපියක් පාසල් ප්‍රධානීන් වෙත නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍යවරයා විසින් අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් ලබා දී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
මුහුණු ආවරණය සම්බන්ධයෙන් හදිසි නීති රෙගුලාසි යටතේ පනවා ඇති විධිවිධාන පිළිබඳ නොදැනුවත්කම නිසා මුහුණු ආවරණය කර ගෙන ඇතැම් පුද්ගලයින් පාසලට පැමිණීම මෙන්ම සමහර ගුරුවරියන් ද මුහුණු ආවරණ සහිත ඇඳුමෙන් සැරසී පැමිණීම ද හේතුවෙන් පසුගිය දිනවල පාසල් කිහිපයක ගැටලු සහගත තත්ත්වයක් ඇති වුණි.
මෙම තත්ත්වය සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කළ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා, එවැනි සිද්ධියක දී පාසල් ප්‍රධානීන් මැදිහත් වියයුතු ආකාරය සහ පාසල්වලට ඇතුළ්වීමේ දී මුහුණු ආවරණ සහිත ඇඳුම් හා ආරක්ෂක හිස් ආවරණ පැළැඳීම සම්බන්ධයෙන් නියෝග ද ඇතුළත් විශේෂ ලිපියක් පාසල් ප්‍රධානීන් වෙත නිකුත් කිරීමට අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබේ.
පූර්ණ මුහුණු ආවරණ සම්බන්ධව හදිසි නීති රෙගුලාසි යටතේ නිකුත් කර ඇති රජයේ අති විශේෂ ගැසට් නිවේදනයන් හි දැක්වෙන නියෝගයට අනුකූලව සහ මානව හිමිකම් කොමිෂන් සභාව මුහුණු ආවරණය පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයට යොමු කර ඇති චිත්‍රණයක් ද සහිතව අධ්‍යාපන අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි එම විශේෂ ලිපිය අධ්‍යාපන ලේකම්වරයා පාසල් ප්‍රධානීන්ට යොමු කොට ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.

මුහුණු ආවරණය සහිත ඇඳුම් හා ආරක්ෂිත හිස් ආවරණ පිළිබඳව පාසල් ප්‍රධානීන්ට ලිපියක්