FAST NEWS

24×7 Around the Globe

අල්ලසට වරදකරුවන් වු පොලිසියේ දෙදෙනෙකුට සිර දඬුවම්..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – අල්ලස් චෝදනාවලට වරදකරු කෙරුණු පොලිස් පරීක්ෂකවරයකු සහ පොලිස් සැරයන්වරයෙකුට කොළඹ මහාධිකරණය අද (16) බරපතළ වැඩ සහිත සිරදඬුවම් හා දඩ නියම කළ බව අප අධිකරණ වාර්තාකරු කියයි.
ඒ අනුව විත්තිකාර පොලිස් පරීක්ෂකවරයාට බරපතළ වැඩ සහිත වසර 04 ක සිර දඬුවමක් නියම කර තිබේ.
විත්තිකාර පොලිස් සැරයන්වරයාට වසර 07ක සිර දඬුවම් රුපියල් විසි දහසක දඩයක් ද නියම කර ඇත.
2006 වසරේ දෙසැම්බර් මස 11 වනදා බලපත්‍රයක් නොමැතිව නීතිවිරෝධී ආකාරයෙන් වල් ඌරු මස් අලෙවි කළ පුද්ගලයෙකුට එරෙහිව නීති මඟින් ක්‍රියා නොකර සිටීම සඳහා රුපියල් 10,000 ක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් 5000 ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගත් බවට චෝදනා කරමින් තීනියාවල පොලිසියේ පොලිස් පරීක්ෂක මහින්ද කිත්සිරි කහපොල ආරච්චි සහ පොලිස් සැරයන් සඳකැලුම් ජයවර්ධන යන විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණයේ නඩු පවරා තිබුණි.
දීර්ඝ නඩු විභාගයකින් පසුව තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත්කර තිබෙන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බවත් ඒ අනුව ඔවුන් වරදකරු කරන බවත් ප්‍රකාශ කළේය.