FAST NEWS

24×7 Around the Globe

ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වන බවට ව්‍යාජ ඇමතුමක් දුන් කපිතාන්වරයෙක් අත්අඩංගුවට..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – මත්තේගොඩ යුධ හමුදා කඳවුරේ සේවයේ නියුතු ඉංජිනේරු බළකා කපිතාන්වරයෙකු අත්අඩංගුවට ගත් බව මත්තේගොඩ පොලීසිය පවසයි.
කළුබෝවිල ශික්ෂණ රෝහලට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල කරන බවට, දුරකථන ඇමතුමක් ලබාදිමේ සිද්ධියකට මෙම අත්අඩංගුවට ගෙන තිබේ.
ජංගම දුරකථනයකින් ලබා දී තිබූ මෙම තොරතුරු පිළිබඳව බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ නිලධාරියෙක් එම කඳවුර හරහා දැනගත් සැණින්, ඒ පිළිබඳව මත්තේගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාට සහ බුද්ධි කොට්ඨාස අධ්‍යක්ෂවරයාට දන්වා, එම නිලධාරීන්ගේ උපදෙස් මත විමර්ශනයක් ආරම්භ කර තිබේ.
එහිදී ඇමතුම ලබාදුන් දුරකථන අංකය පිළිබඳව විශ්ලේෂණ වාර්තාවක් කැඳවීමේදී එය පස්සර ප්‍රදේශයේ සරසවි සිසුවියකට අයත් එකක් බවටද කරුණු අනාවරණ වි තිබේ.
පසුව සරසවි සිසුවිය පොලීසියට කැඳවා ප්‍රශ්න කිරීමේදී ඇයගේ ජාතික හැඳුනුම්පත මීට මාස දෙකකට පමණ පෙර, අස්ථානගත වී ඇති බවට ප්‍රකාශ කර ඇත.
ඒ අනුව විමර්ශන වෙනතකට යොමු කරමින් තිබියදී යුධ හමුදා කඳවුර අභ්‍යන්තරයේද පරීක්ෂණයක් ආරම්භ කර තිබූ අතර එහිදී අනාවරණය වි ඇත්තේ ලබා දී තිබූ තොරතුර යුධ හමුදා කඳවුරත්, කළුබෝවිල රෝහලත් බිය ගැන්වීම සඳහා එම කඳවුරේම කපිතාන්වරයෙකු විසින් සිදුකර ඇති බවය.
මේ පිළිබඳව යුධ හමුදා කඳවුරෙහි මිතුරෙකු සමග කපිතාන්වරයා පවසා තිබූ අතර ඔහුගෙන් ලද තොරතුරක් අනුව කපිතාන්වරයා සැකපිට අත්අඩංගුවට ගත් බව පැවසේ.
පසුව දිගින් දිගටම ප්‍රශ්න කිරීමේදී මහමග තිබී අහුලාගත් පස්සර ප්‍රදේශයේ පදිංචි තරුණියකට අයත් ජාතික හැඳුනුම්පතකින් සිම්පත් දෙකක් මිලදී ගෙන, ඉන් එක් සිම්පතකින් මෙම ඇමතුම ලබා දී රෝහල සහ කඳවුර බිය ගැන්වීමට සිදුකළ එකක් බවට කරුණු අනාවරණය වූ බවටද පැවසේ.
ඒ අනුව මහරගම ප්‍රදේශයේ පදිංචි (42) ඉංජිනේරු බළකා කපිතාන්වරයා වැඩිදුර විමර්ශන සඳහා යුධ හමුදා මූලස්ථානයේ නීති අංශයට භාරදුන් බව පොලීසිය පවසයි.