FAST NEWS

24×7 Around the Globe

කොච්චිකඩේ බෝම්බකරුගේ සහෝදරයා ඇතුළු 03 ක් 23 වැනිදා අධිකරණයට..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට පාස්කු ඉරුදින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ බෝම්බකරුගේ සහෝදරයා ඇතුළු සැකකරුවන් තිදෙනෙකු නිරීක්ෂණය සඳහා ලබන 23 වනදා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (09) අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට නියම කර තිබේ.
එම දෙපාර්තුමේන්තුව විසින් අධිකරණයට පත් කළ වාර්තාව සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය සිදු කළ බව අප අධිකරණ වාර්තාකරු කියයි.
ආරක්ෂක ලේකම්වරයාගෙන් ලබාගත් දින 90 ක රැඳවුම් නියෝග මත මෙම සැකකරුවන් තිදෙනා පොලිසිය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරන බවද පොලිසිය අධිකරණයට දැනුම් දී තිබේ.
එමෙන්ම අදාළ දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ සැකකරු පිළිබඳව නිශ්චිත හඳුනාගැනීම සඳහා ඩී.එන්.ඒ. වාර්තා කැඳවා ඇතැයි ද පොලීසිය වැඩිදුරටත් සඳහන් කර තිබේ.
එසේම මෙම අපරාධය සිදු කිරීම සඳහා මෙම සැකකරුවන් ආධාර අනුබල දී ඇති බවට සැක පළ වී ඇති බැවින් ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකළ බව පොලීසිය දන්වා ඇත.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා අදාළ සැකකරුවන් පොලිසිය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දී ඇති අතර ඔවුන් නිරීක්ෂණය සඳහා ලබන 23 වනදා අධිකරණය හමුවට ඉදිරිපත් කරන මෙන්ද අධිකරණය නියම කර තිබේ.