FAST NEWS

24×7 Around the Globe

පාසල් කටයුතු අඩාල කරන්නන්ට එරෙහිව දැඩි පියවර…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාසල් තුළ සහ ඒ අවට ආරක්ෂක තත්ත්වයන් තහවුරු වී ඇති බව ආරක්ෂක අංශ දැනුම්දීමෙන් අනතුරුව පසුගිය සඳුදා (06) ප්‍රාථමික ශ්‍රේණි හැර අනික් ශ්‍රේණි සදහා පාසල් දෙවන වාරය ආරම්භ කරනු ලැබූ අතර , මේ වන විට පාසල් වෙත සිසුන්ගේ පැමිණීම ඉහළ යමින් පාසල්වල අධ්‍යයන කටයුතු සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් තිබෙන තිබේ.
අධ්‍යයන කටයුතු සාමාන්‍ය පරිදි පැවැත්වීමට පියවර ගන්නා ලෙසත් අධ්‍යාපනය අමාත්‍යාංශය සියලු පාසල් ප්‍රධානින් වෙත උපදෙස් ලබා දී ඇත.
කෙසේ වෙතත් යම් කණ්ඩායම් පාසල් කටයුතු අඩාල වන අන්දමින් ප්‍රකාශ සිදුකරමින් සිටින බවට පැමිණිලි රැසක් අධ්‍යාපනය අමාත්‍යාංශය වෙත ලැබී ඇති අතර ඇතැම් විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් ද, දරුවන්ට පාසල් නොපැමිණෙන ලෙස බලපෑම් කරන බවට ද තොරතුරු ලැබී ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
විවිධ දේශපාලන පටු අරමුණු සහ අවස්ථාවාදී මතවාද සහ පුද්ගලික කරුණු මත පදනම්ව කටයුතු කරන එවැනි පුද්ගලයන් සහ කණ්ඩායම් සම්බන්ධයෙන් විනයානුකූල පියවර ගැනීමට අධ්‍යාපනය අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ඒ අනුව එවැනි පුද්ගලයන් සහ කණ්ඩායම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත තොරතුරු ලබාදීමට කටයුතු කරන බවද අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී ඇත.