FAST NEWS

24×7 Around the Globe

පාසල්වල ආරක්ෂාවට විශේෂ චක්‍රලේඛයක් – අධ්‍යාපන ඇමති..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පවතින තත්ත්වය හමුවේ පාසල් දරුවන් ඇතුළු පාසල් ප්‍රජාවගේ ආරක්ෂාව තවදුරටත් තහවුරු කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත විශේෂ චක්‍රලේඛයක් නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා පියවරගෙන ඇත.
ඒ අනුව පාසල් ප්‍රජාව දැනුවත් කිරීම, ආරක්ෂක කමිටු පිහිටුවීම සහ ආරක්ෂාව සඳහා අනුගමනය කළ යුතු වැඩපිළිවෙල සම්බන්ධයෙන් කරුණු මෙම චක්‍රලේඛයට ඇතුළත් කර තිබේ.
සිසු දරුවන් පාසලට පැමිණිමේ දී හා පිටවීමේ දී පාසල් ප්‍රවේශ අසල ආරක්ෂාව තහවුරු කිරීම, පාසලට පැමිණෙන දරුවන්ගේ ගමන් මලු සහ පාසල් බෑග් පරීක්ෂා කිරීම, සිසුන්ගේ අනන්‍යතාවය තහවුරු කිරීම, නේවාසිකාගාර පවතින පාසල්හි නේවාසිකාගාර ආරක්ෂාව තවදුරටත් තහවුරු කිරීම සහ හදිසි අවස්ථාවකදී පාසල් ප්‍රජාව කඩිනමින් දැනුවත් කිරීම සඳහා උචිත සන්නිවේදන ක්‍රම අනුගමනය කිරීම ආදී කරුණු 18 ක් පිළිබඳව මෙම චක්‍ර ලේඛණයේ අවධානය යොමු කර ඇත.
පළාත් ප්‍රධාන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් ,කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් හා කොට්ඨාසභාර නියෝජ්‍ය හෝ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ සියලුම රජයේ පාසල්, පෞද්ගලික පාසල් පිරිවෙන් හා දිවයිනේ සෙසු සියලු පාසල් ප්‍රධානීන්ට මෙම චක්‍රලේඛය යොමුකර ඇති බවත් වාර්තා වෙයි.