FAST NEWS

24×7 Around the Globe

පළාත් කිහිපයකට මි.මී.150 ක වැසි..

(ෆාස්ට් නිව්ස් -කොළඹ) –  නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ, ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පවතින ඉතා චණ්ඩ සුළි කුණාටුව (‘ෆොනී’) අද (30) දින පෙ.ව 05.30 වන විට ත්‍රිකුණාමලය සිට ඊසාන දෙසින් කි.මී 670 පමණ දුරින් උතුරු අක්ෂාංශ 11.7 ත් නැගෙනහිර දේශාංශ 86.5 ත් ආසන්නව ස්ථානගතව පැවති බවත්, මෙම පද්ධතිය ඉදිරි පැය 36 තුලදී අතිශයින් චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් උතුරට බරව ඊසාන දෙසට ගමන් කරනු ඇතැයි අනුමාන කෙරෙන බව කාළගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව අද (30) දහවල් නිකුත් කළ නිවේදනයෙහි සඳහන් වෙයි.
අද (30) දිනය තුළ දිවයිනේ සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇති අතර තද සුළං සහ තද වැසි තත්ත්වයක් තවදුරටත් පවතිනු ඇතැයි බලාපොරොත්තු වන බවද සඳහන්.
දිවයින හරහා විශේෂයෙන් මධ්‍යම කඳුකර ප්‍රදේශ වලත් උතුරු, උතුරුමැද, ඌව සහ දකුණු පළාත්වලත් පුත්තලම, ත්‍රිකුණාමලය සහ අම්පාර දිස්ත්‍රික්ක වලත්විටින් විට හමන පැ.කි.මි.60 දක්වා තද සුළං බලාපොරොත්තු වේ.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඌව, සබරගමුව, මධ්‍යම,දකුණු, බස්නාහිර සහ වයඹ පළාත්වල සහ මන්නාරම දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වලට මි.මී.150 ට වැඩි ඉතා තද වර්ෂාපතනයන්ද සෙසු පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ක පමණ තද වර්ෂාපතනයන් ඇති විය හැකි බවද එම නිවේදනයෙහි සඳහන් වෙයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිලිබඳ අවධානය යොමුකරන ලෙස මහජනතාවගෙන් සහ ධීවර හා නාවුක ප්‍රජාවගෙන්ඉල්ලා සිටිනු ලැබේ.