(ෆාස්ට් නිව්ස් – කොළඹ) – එළඹෙන මැයි 18 වන දින පැවැත්වෙන ඔස්ට්‍රේලියානු මහ මැතිවරණය ජයගතහොත් ඔස්ට්‍රේලියාවේ මාපිය වීසාවල (parent visa) අධික වීසා ගාස්තු කප්පාදු කරන බවත් ඒ සඳහා පනවා ඇති වාර්ෂික කෝටා සීමාව ඉවත් කරන බවත් කම්කරු පක්ෂය පවසයි.
ඔස්ට්‍රේලියාවේ පදිංචි සංක්‍රමණිකයින්ගේ මාපියන් සහ මුත්තණු මිත්තණියන් ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමට අදාළ මාපිය වීසා ඛාණ්ඩ කිහියක්ම ඇති නමුත් ඒවායේ අධික වීසා ගාස්තු සහ බලා සිටීමේ කාලය අධික බව හේතුවෙන් බොහෝ සංක්‍රමණිකයින් මහත් අපහසුතාවන්ට පත්වී ඇත.
මේ වන විට ඔස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක කෙරෙන තුන් අවුරදු සහ පස් අවුරදු මාපිය වීසා ගාස්තු පහත දැමීමට ඉදිරි මහ මැතිවරණයෙන් ජයගතහොත් කම්කරු පක්ෂය පියවර ගන්නා බව කම්කරු පක්ෂ නායක බිල් ෂෝර්ටන් පවසයි.
ඒ අනුව දැනට ක්‍රියාත්මක තුන් අවුරුදු මාපිය වීසා ගාස්තුව වන ඔස්ට්‍රේලියා ඩොලර් 5000, ඔස්ට්‍රේලියා ඩොලර් 1250 දක්වාත් ඔස්ට්‍රේලියා ඩොලර් 10,000 ක්ව පවතින පස් අවුරුදු මාපිය වීසා ගාස්තුව ඔස්ට්‍රේලියා ඩොලර් 2500 දක්වාත් පහත හෙළන බව කම්කරු පක්ෂය පවසයි.
දිගු කාලීන මාපිය වීසා (Long Stay Parent visas) හෙවත් දීර්ග කාලයක් රැදී සිටීමට හැකි මාපිය වීසාවල වාර්ෂික කෝටාව 15,000 ක් ලෙසට දැනට සීමා කර ඇති අතර එනිසාම බොහෝ සංක්‍රමණිකයින් තම මාපියන් ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමේදී විවිධ දුෂ්කරතාවන්ට මුහුණ පාන බව වාර්තා වේ. මෙම 15,000 සීමාව ඉදිරි ඔස්ට්‍රේලියානු මහ මැතිවරණය ජයගතහොත් තමන් ඉවත් කරන බව කම්කරු පක්ෂය පොරොන්දු වී ඇත.
තාවකාලික මාපිය වීසා (Temporary parent visas) නැවත අලුත් කිරීමට ඔස්ට්‍රේලියාව තුළ සිට සිදුකළ නොහැකි අතර කම්කරු පක්ෂය එම ක්‍රමය ද වෙනස් කිරීමට සූදානම් බව විපක්ෂ නායක ෂෝර්ටන් පවසයි.
දීර්ඝ කාලයක් මුළුල්ලේ විවාදයට බඳුන්වූ ඔස්ට්‍රේලියාවේ නව මාපිය වීසා වර්ගය පසුගිය අප්‍රේල් 17 වන දින සිට ක්‍රියාත්මක වීම ආරම්භ විය.
Temporary Sponsored Parent visa (subclass 870) නමින් හැඳින්වෙන මෙම නව මාපිය වීසා වර්ගය හරහා ඔස්ට්‍රේලියාවේ වාසය කරන්නන්ට තම මාපියන් හෝ මුත්තණු මිත්තණියන් නොකඩවා වසර 5 ක් දක්වා ඔස්ට්‍රේලියාවට ගෙන්වා තබා ගැනීමට හැකිවනු ඇත. එම වසර 5 අවසානයේදී ඔස්ට්‍රේලියාවෙන් පිටත සිට නැවත අයදුම් කිරීමෙන් තවත් වසර 5 ක ට වීසා ලබා ගැනීමට හැකියාව ඇති බවද සඳහන් ය.