FAST NEWS

24×7 Around the Globe

දෙවන පාසල් වාරය ඇරඹීමට පෙර ඒ අවට ප්‍රදේශවල විශේෂ ආරක්ෂාවක්…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  එළඹෙන 29 වැනිදා දෙවන පාසල් වාරය ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන අතර ඊට පෙර දිවයිනේ සියලුම ජාතික හා පළාත් පාසල් පරිශ්‍ර සහ ඒ අවට ප්‍රදේශවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් අනුව විශේෂ ක්‍රියාන්විතයක් සිදු කිරීමට පියවර ගෙන තිබේ.
පාසල් දරුවන්, ගුරුවරුන් ඇතුළු කාර්ය මණ්ඩල සියල්ලගේම ආරක්ෂාව සම්බන්ධයෙන් තමාට දැඩි වගකීමක් ඇති බැවින්, සියලුම මවුපියන් හා වැඩිහිටියන්ගේ අවධානය ද යොමු කරමින් මෙම විශේෂ ආරක්ෂක වැඩපිළිවෙල සියලුම ජාතික හා පළාත් පාසල් පරිශ්‍ර හා ඒ අවට ඉතා විධිමත්ව ක්‍රියාත්මක කළ යුතු බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
මේ සම්බන්ධයෙන් සියලුම ආරක්ෂක ප්‍රධානීන් මේ වනවිටත් දැනුවත් කිරීමට ද අමාත්‍යවරයා පියවර ගෙන ඇත.
අප්‍රේල් 29 වැනිදාට පෙර පාසල් පරිශ්‍ර හා ඒ අවට ආරක්ෂාව තහවුරු කිරීමට ද, පාසල් බස් රථ, වෑන් රථ හා පොදු ප්‍රවාහන සේවාවන් භාවිතය ද සැලකිල්ලට ගෙන සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට ද අවශ්‍ය කඩිනම් පියවර ගනු ඇත.
මේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් සියලුම පළාත් අධ්‍යාපන ලේකම්වරු, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරු හා කලාප අධ්‍යක්ෂවරුන් ද දැනුවත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.