FAST NEWS

24×7 Around the Globe

මැතිවරණ කොමීෂන් සභාවෙන් අගමැතිට ලිපියක්..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) -පළාත් සභා මැතිවරණ කොට්ඨාශ සීමා නිර්ණ සමාලෝචන වාර්තාව ජනාධිපතිවරයා වෙත බාර දෙන්නැයි මැතිවරණ කොමිෂන් සභාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත විශේෂ ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇති බව එම කොමීෂන් සභාව කියයි.
අග්‍රාමාත්‍යවරයා සීමා නිර්ණ සමාලෝචන වාර්තාව ජනාධිපතිවරයාට බාරදීමෙන් සහ ජනාධිපතිවරයා එම වාර්තාව රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් පසුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ බාධා ඉවත්ව යන බව අදාළ ලිපිය මගින් අවධාරණය කර තිබේ.
සීමානිර්ණ වාර්තාව බාරදීමෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වන බවත් ජනතාවගේ මූලික අයිතිවාසිකම් සුරැකීමක් වන බවද මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දී තිබේ.
පළාත් පාලන මැතිවරණය නව ක්‍රමයට හෙවත් මිශ්‍ර ක්‍රමයට පැවැත්වීම සඳහා සීමා නිර්ණය කිරීම අවශ්‍ය වන අතර ඒ සඳහා හිටපු මිනුම්පති කේ.තවලිංගම් මහතාගේ සභාපතීත්වයෙන් යුත් සමාලෝචන කමිටුවක් පත් කෙරිණි.
ඒ අනුව තවලිංගම් කමිටුව සකස් කළ සීමා නිර්ණ සමාලෝචන වාර්තාව පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යවරයාට බාර දුන් අතර ඔහු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාව පරාජයට පත්විය.
ඉන්පසු අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවකට එම වාර්තාව සමාලෝචනයට බාර දුන් අතර එම වාර්තාව තවමත් කමිටුවේ හිර වී තිබේ.