(ෆාස්ට් නිව්ස් – කොළඹ) – මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට ඒකාබද්ධ විපක්‍ෂය තීරණය කර ඇති බව ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (11) බොරැල්ල පරිවර්තන කේන්ද්‍රයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ ආංශික අධීක්‍ෂණ කාරක සභා වාර්තාවෙන් මුදල් අමාත්‍යාංශයට එල්ල කර ඇති චෝදනා සහ සත්‍ය කරුණු වසන් කර ව්‍යාජ අයවැය ලේඛනයක් ඉදිරිපත් කිරීම යන චෝදනා මත මෙම විශ්වාසභංගය ගෙන එන බව එ මහතා පැවසීය.
අයවැය නොවැම්බර් කියෑවීමේ විවාදයට පෙර මෙම මුදල් පිළිබඳ ආංශික අධීක්‍ෂණ කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බව කී බන්දුල ගුණවර්ධන මහතා ආර්ථික දත්ත සඟවමින් පාර්ලිමේන්තුවට තොරතුරු සපයා ඇති බවට එම වාර්තාවේ සඳහන් කර ඇතැයිද කීය.
අයවැය පිළිබඳ අපක්‍ෂපාතී විග්‍රහයක් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ලබා ගන්නා ලෙසටද අදාළ වාර්තාවෙන් නිර්දේශ කර ඇතැයි කී මන්ත්‍රීවරයා මේ අනුව පසුගිය කාලයේ සිදුකර තිබෙන්නේ ව්‍යාජ අයවැය ලේඛනයකට අදාළ විවාදයක් බවද කීය.
මෙම කරුණු සලකා විෂයභාර ඇමැති මංගල සමරවීර මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බවද බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.








