FAST NEWS

24×7 Around the Globe

දැඩි නියගයෙන් පීඩා විදින ජනතාවට මෙන්ම සතුන්ටත් බවුසර් මගින් ජලය…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දිවයින පුරා පවතින වියළි කාලගුණය හේතුවෙන් පුද්ගලයන් තුන්ලක්‍ෂ විසිඑක් දහසකට අධික පිරිසක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
මින් වැඩිම බලපෑම උතුරු පළාතෙන් වාර්තා වන අතර, එම පළාතේ ඩෙල්ෆ්, කයිට්ස්, කරෙයිනගර් ඇතුළු ප්‍රදේශ ගණනාවකට බලපා ඇති වියළි කාලගුණය හේතුවෙන් පවුල් දසදහස් එකසිය දහයක සාමාජිකයන් තිස්තුන්දහස් හාරසිය අසූදෙනෙක් පීඩාවට පත්ව සිටියි.
වයඹ පළාතේ පවුල් නවදහස් අටසිය අසූ දෙකක සාමාජික සාමාජිකාවන් තිස් පන්දහසක්ද, මධ්‍යම පළාතේ පවුල් හත්දහස් හත්සිය පනහක සාමාජික සාමාජිකාවන් විසිහත් දහසක්ද මේ හේතුවෙන් පීඩාවට පත්ව ඇත.
කළුතර දිස්ත්‍රික්කයේ කළුතර, බේරුවල, මතුගම, පානදුර සහ ‍දොඩම්ගොඩ ප්‍රදේශවල ගංගා ජලයට මුහුදු ජලය මිශ්‍ර වීම හේතුවෙන් පවුල් හතළිස් පන්දහස් පන්සියයක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
මේ වන විට පළාත් පාලන ආයතන මඟින් ඇතැම් ප්‍රදේශවල පානීය ජල අවශ්‍යතාව සපුරාලීම සඳහා බවුසර් යොදා ජලය බෙදාහැරීමේ කටයුතු ද සිදු කරමින් පවතියි.
දැඩි නියගය හේතුවෙන් ජලය නොමැතිකමින් පීඩා විඳින වනයේ සිටින සතුන්ට සහ කුරුල්ලන්ට ද යුද හමුදාව විසින් බව්සර් මගින් ජලය රැගෙන ගොස් පොදුවේ පානීය ජලය ලබා දීමට කටයුතු සුදානම් කර තිබේ.