FAST NEWS

24×7 Around the Globe

ගර්භණී හෝ පසු ප්‍රසව සමයේ උණ වැළඳුණු මව්වරුන්ට අනතුරු ඇඟවිමක්..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ගර්භණී හෝ පසු ප්‍රසව සමයේ උණ වැළඳුණු මවුවරු රෝගී වූ පළමු දිනයේම රෝහල් ගත කිරීමට කටයුතු කරන්නැයි සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.
මේ දිනවල පැතිර යන ඩෙංගු සහ ඉන්ෆ්ලුවෙන්සා රෝග වැළඳුනු ගර්භණී මවුවරු අනෙකුත් අයට වඩා අවදානම් තත්ත්වයකට පත්විය හැකි අතර උග්‍ර සංකුලතා වලට ලක්විය හැකි බවත් එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.
පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ආවේක්ෂණ දත්ත වලට අනුව ඉන්ෆ්ලුවෙන්සා නියුමෝනියාව නිසා මෙම වසරේ මාතෘ මරණ 2 ක් මේ වන විට වාර්තා වී තිබේ.
2018 වසරේ දී ගර්භණි කාන්තාවන් 11 ක් නියුමෝනියාව නිසා මිය ගොස් ඇති බවත් සඳහන්.
එසේම 2017 වසරේ දී ඩෙංගු සහ ඉන්ෆ්ලුවෙන්සා නිසා ගර්භණී මවුවරු 41 කට ජිවිත අහිමිව තිබේ.
ගර්භණි මවු වරුන්ට සෙම්ප්‍රතිශ්‍යා උණ රෝග ලක්ෂණ ඇති අය අසළට යාමෙන් සහ වැඩිපුර සෙනඟ ගැවසෙන ස්ථාන වල රැඳීමෙන් වළකින ලෙසටත් නිවැරැදි ශ්වසන ස්වාස්ථතාවයන් අනුගමනය කරන ලෙසටත් සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.
උණ වැළඳුණු ගර්භණී හෝ පසු ප්‍රසව මවුවරු පළමු දිනයේම රෝහල් ගත කිරීමෙන් එම මවුවරුනට විශේෂිත ප්‍රතිකාර ලබා දිය හැකි බවත් එවැනි මවුවරුන් පළමු දිනයේම රෝහල් ගත කිරීමට සියලුම වෛද්‍ය ආයතන වලට, රජයේ සහ පුද්ගලික වෛද්‍යවරුන් ට, බාහිර රෝගී අංශ වලට සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ට උපදෙස් මේ වනවිටත් නිකුත් කර ඇති බවත් එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.