FAST NEWS

24×7 Around the Globe

විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීම සදහා ජවිපෙ අද (22) අගමැති සමග සාකච්ඡාවක්..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ජනතා විමුක්ති පෙරමුණ විසින් යෝජනා කළ විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණේ සහාය ලබා ගැනීම සඳහා අදාළ වන සාකච්ඡා අද (22) එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සමඟ පැවැත්වීමට නියමිතය.
අද පස්වරු 2.00 ට පාර්ලිමේන්තුවේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී මෙම සාකච්ඡාව පැවැත්වෙනු ඇත.
අනුර කුමාර දිසානායක, දේශපාලන මණ්ඩල සභිකයන් වන විජිත හේරත් සහ සුනිල් හදුන්නෙත්ති යන මහත්වරුන් අග්‍රාමාත්‍යවරයා සමඟ පවත්වන මෙම සාකච්ඡාවට සහභාගී වීමට නියමිතව තිබේ.
ජනතා විමුක්ති පෙරමුණ විසින් විධායක ජනාධිපති ධුරය අහෝසි කෙරෙන 20 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර එය සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දය ලබා ගත යුතුව ඇත.