(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර දෙවන නිල සාකච්ඡාව අද (21) විපක්ෂ නායක කාර්යාලයේදි පැවැත්වෙන බව එම පක්ෂ ආරංචි මාර්ග පවසයි.
මෙ සාකච්ඡාවේදි ආර්ථික, අධ්‍යාපන ඇතුළු නව සන්ධානයේ ප්‍රතිපත්ති පිළිබඳ මූලික එකඟතාවකට පැමිණීමට නියමිත බව පැවසේ.
පසුගිය 14 වනදා විපක්ෂ නායක කාර්යාලයේදී පළමු නිල සාකච්ඡාව පැවති අතර, දෙපාර්ශවයම නියෝජනය කරමින් 06 දෙනෙකු ඊට සහභාගි විය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල සහ හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස එක්වුහ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් එහි සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස්, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජගත් වැල්ලවත්ත සහභාගි වී තිබුණාහ.
එම සාකච්ඡාවට සහභාගිවීමෙන් අනතුරුව නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර කියා සිටියේ මෙම සාකච්ඡා අතිශය සාර්ථක බවය.








