FAST NEWS

24×7 Around the Globe

ජනාධිපති කොමිසමේ පැමිණිලි භාර ගැනිම අදින් අවසන්..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – වසර 04 ක කාලය තුළ රාජ්‍ය ආයතනවල සිදුවී ඇතැයි සැලකෙන දූෂණ, වංචා සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසමට පැමිණිලි භාර ගැනීම අද (19) පස්වරු 05 දක්වා හැකි බව එම කොමිසම පවසයි.

මේ වන විට කොමිසමට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 950 ක් වන බවත් ,ඉන් පැමිණිලි 31 කට ආසන්න සංඛ්‍යාවක් මූලික විමර්ශන සඳහා විශේෂ පොලිස් ඒකකයට යොමු කර ඇති බවද කොමිසම කියයි.

මෙතෙක් ලැබී ඇති පැමිණිලිවලින් විශාල සංඛ්‍යාවක් රාජ්‍ය ආයතනවල ඉහළ නිලධාරීන්ට විරුද්ධව ලැබී ඇති බවද පැවසේ.

එම නිලධාරීන් විසින් සිදුකර ඇති, මිලියන ගණනක මූල්‍ය වංචාවන් සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් එම පැමිණිලි මගින් දක්වා ඇති බවත් එම කොමිසම කියයි.

ලැබී ඇති පැමිණිලි දෙස අවධානය යොමු කිරිමේදී දේශපාලඥයින්ට වඩා රාජ්‍ය නිලධාරීන් විවිධ අක්‍රමිකතාවල නිරතව ඇති බවට පෙනී යන බවද පැවසේ.

පසුගිය වසර 4 තුළ රාජ්‍ය ආයතනයවල දූෂණ ක්‍රියා, සාපරාධි විශ්වාසය කඩ කිරීම, දේපොළ සාපරාධි පරිහරණය, රාජ්‍ය සම්පත් හා වරප්‍රසාද අනිසි ලෙස භාවිත කිරීම පිළිබඳව මහජන පැමිණිලි, තොරතුරු සහ සෙසු කරුණු කැඳවීම සහ ඒවා පුළුල් විමර්ශනයකට ලක් කිරීම, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් ජනාධිපති කොමිසමේ කාර්යය වේ.