FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීලනිපය තුළ තනතුරු දීමේ සම්පුර්ණ බලය ජනපති මෛත්‍රීට හිමීවෙයි.

විපක්ෂ නායක, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, නියෝජ්‍ය කථානායක යන තනතුරු සඳහා මන්ත්‍රීවරුන් පත්කිරීමේ සම්පූර්ණ බලය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පවරා තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල නිවසේ ඊයේ(28) රැස් වූ ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීමේ දී මෙම යෝජනාව සම්මත වී ඇති අතර එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 95 දෙනාගෙන් 80 දෙනකු ශ්‍රීලනිපය නියෝජනය කරන බැවින් ඒ සියලුම දෙනා ජනාධිපතිගේ තීන්දුව ඒකමතිකව සම්මත කළ යුතු බවට තීරණයක් ගෙන ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කෙළේය.

යම් හෙයකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරයකු මෙම පත්කිරීම්වලට අදාළව ජනාධිපතිවරයාගේ තීරණයට එරෙහි වුවහොත් ඔහුට හෝ ඇයට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට ද ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව එකඟවී තිබේ.

එමෙන්ම සම්මුති ආණ්ඩුවක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ලබාගන්නා ඇමැති ධූර සම්බන්ධයෙන් ද තීරණය ගැනීමේ බලය ශ්‍රීලනිප සභාපති වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පැවරීමට කටයුතු කර ඇත.

මීට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි කටයුතු කිහිපයක් වෙනුවෙන් කමිටු 3ක් පත්කිරීමට ද අද රැස්වු මධ්‍යම කාරක සභාව තීරණය කර ඇති අතර ඉන් එක් කමිටුවක් ජාතික ආණ්ඩුව පිළිබඳ දුර්මත නිවැරදි කිරීම සඳහා පත් කිරීමට තීරණය කර ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධානය සඳහා හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ 64 වැනි සම්මේලනය සම්බන්ධයෙන් ක්‍රියාකිරීමට කමිටු දෙකක් පත්කිරීමට මෙහිදි කටයුතු කර තිබේ.