FAST NEWS

24×7 Around the Globe

2017ට සාපේක්ෂව 2018 දී ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව පහළට…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 2017 වසරට සාපේක්ෂව පසුගිය වසරේදී ඩෙංගු රෝගීන් වාර්තා වීම 70% කින් සහ ඩෙංගු රෝගයෙන් මරණයට පත්වන සංඛ්‍යාව 90% කින් අඩුකර ගැනීමට හැකිවූ බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සදහන් කරයි.
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඩෙංගු රෝගීන් සඳහා ඉතා ගුණාත්මක සේවාවක් පවත්වාගෙන යෑම හා ඊට අදාළ තාක්ෂණික ක්‍රමවේදයන් භාවිත කරගනිමින් මදුරුවන් බෝවීම වළක්වා ගැනීමට පුළුල් වැඩපිළිවෙළක් ද ආරම්භ කර ඇත.
මීට අමතරව දිවයින පුරා මූලික රෝහල්වල සියලුම විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය සඳහා ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කිරීම පිළිබඳව විශේෂ පුහුණුවීම් හා නිපුණතා ලබාදී තිබෙන අතර එයට සමගාමීව රට පුරා නිවාස ඇතුළු පරිශ්‍ර මිලියන 1.5 කට ආසන්න සංඛ්‍යාවක් විශේෂ මදුරු මර්දන වැඩසටහන් හරහා පරීක්ෂාවට ලක්කර තිබේ.
මදුරුවන් බෝවීම වැළැක්වීම සඳහා අත්‍යවශ්‍ය තාක්ෂණික උපකරණ රටේ සියලුම වෛද්‍ය නිලධාරි කොට්ඨාස වෙත ලබාදී තිබේ.
මේ වසරේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය තුළදී ඩෙංගු මර්දනය පිළිබඳව විශේෂ අවධානයක් ලබාදිය යුතු අතර මේ සඳහා සතියකට පහසු වෙලාවක විනාඩි 30 ක පමණ කාලයක් මදුරුවන් බෝවන ස්ථාන ඇත්දැයි පරීක්ෂා කොට ඒවා ඉවත් කිරීම මඟින් ඩෙංගු රෝගය වළක්වා ගත හැකි බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.