(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලොව පුරා ජීවත්වන හින්දු බැතිමතුන් ඉමහත් භක්තියෙන් සමරනු ලබන මහ ශීවරාත්‍රී දිනය අද (04) සමරනු ලබයි.
මෙම උත්සවයේ මූලික අරමුණ වන්නේ අඳුර පලවා හැර ශිව දෙවියන්ගේ පැමිණීම සහ නව සඳ උදාවීම සංකේතවත් කිරීමයි.
ශිව දේව වන්දනාව හින්දු බැතිමතුන්ගේ වන්දනා පිළිවෙත් අතර ප්රමුඛස්ථානයක් හිමිවන අතර සොබාදහම ශිව දෙවියන්ගෙන් මුර්තිමත් වනවා සේම ජීවි සියල්ලේ උපත ද ශිව දෙවියන් බව හින්දු බැතිමතුන්ගේ ඇදහීමයි.
මහා ශිව රාත්‍රිය නිර්මාණය වූ ආකාරය පිළිබද හින්දු ඉතිහාසයේ දේව කථා වල විවිධ මති මතාන්තර පවතියි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශිව රාත්‍රිය වෙනුවෙන් සුභ පණිවිඩයක් එක්කරමින් සදහන් කර සිටින්නේ අපගේ මාතෘභුමියේ හා ලොව පුරා වෙසෙන හින්දු භක්තිකයන් ගේ එකී ආත්මීය ප්‍රාර්ථනා ඉටුවී, ඔවුන්ගේ ජීවිත ගුණ යහපත් වීමෙන්, ඔවුන් හා සමඟ වෙසෙන සියලු ජනයාගේ ජීවිත වලට ද එමගින් අලෝකයක් එක් කරන බවට සැකයක් නොමැති බවයි.
එමෙන්ම ලෝකවාසී හින්දු ජනයාගේ අධ්‍යාත්මික ජීවිත අලෝකවත් වේවා යන්න ඉතසිතින් සුභාශිංසනය කරන බවද ජනාධිපතිවරයා සදහන් කරයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය සුභ පණිවිඩයෙන් දක්වා සිටින්නේ වාර්ගික, ආගමික, සංස්කෘතික විවිධත්වය තුළ පවතින සුන්දරත්වය මෙන්ම අගය හදුනාගැනීමට මහා ශිවරාත්‍රී දිනය අප සැමට අලෝකයක් වන බවයි.
ශිව රාත්‍රී දිනයට සුභ පැතුම් එක්කරමින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ උසස් ආගම් සහ සංස්කෘතීන්ගෙන් සංකලනය වු, ඉවසීම සහ සාමය අගයන අභිමානවත් ජාතියක් සේ අප ආරක්ෂා කොටගත් සාමය තවදුරටත් වැඩි දියුණු වේවා යන්නයි.
සියලු හින්දු බැතිමතුන්ට සාමය සෞභාග්‍ය පිරි ආලෝකමත් ජීවිතයක් උදාවේවා යන්න හෘදයාංගමව ප්‍රාර්ථනා කරන බවද මහින්ද රාජපක්ෂ සිය පණිවිඩයෙන් පෙන්වා දෙයි.