FAST NEWS

24×7 Around the Globe

ලංකාවට පැමිණෙන රටවල් 10 ක සංචාරකයින්ට නිදහස් වීසා…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) ශ්‍රී ලංකාවට පැමිණෙන රටවල් 10 ක සංචාරකයින්ට 2019 අප්‍රේල් 01 වනදා සිට මාස 06 ක කාලයක් සඳහා ගාස්තු අය කිරීමකින් තොරව නිදහස් වීසා ලබාදීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.
මේ අනුව තායිලන්තය යුරෝපා සංගමයේ රටවල්, එක්සක් රාජධානිය, ඕස්ට්‍රේලියාව, දකුණු කොරියාව, කැනඩාව, ඇමරිකා එක්සත් ජනපදය, සිංගප්පූරුව, මැලේසියාව හා නවසීලන්තය යන රටවල සංචාරකයින්ට මෙම නිදහස් වීසා ලබා ගැනීමේ අවස්ථාව හිමිවේ.
වසරේ අනෙකුත් කාලයට සාපේක්ෂව අප්‍රේල් සිට ඔක්තෝම්බර් දක්වා කාලය තුළ සංචාරකයින්ගේ පැමිණීම අඩු අගයක් ගන්නා බව නිරීක්ෂණය වී ඇත.
මැයි සිට අගෝස්තු දක්වා වන කාල සීමාව තුළ වෙසක් හා පොසොන් උත්සව හා ඇසළ පෙරහැර වැනි බෞද්ධාගමික උත්සව සහ සංස්කෘතික අංග රාශියක් දිවයින පුරා පැවැත්වෙන බැවින් බුදුදහම ප්‍රචලිතව ඇති තායිලන්තය වැනි ආසියානු රටවල බෞද්ධ සංචාරකයින් ආකර්ෂණය කරගත හැකිවේ යයි අපේක්ෂා කරයි.
මේ තත්ත්වයන් සලකා මෙම කාලය තුළ සංචාරකයින්ගේ පැමිණීම වර්ධනය කර ගැනීම සඳහා තායිලන්තය මෙන් ම ඉහත සඳහන් සෙසු රටවල සංචාරකයින් සඳහා මෙම නිදහස් වීසා පහසුකම ලබාදිය යුතු යැයි විෂය භාර අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ඉදිරිපත් කළ යෝජනාව ඊයේ (26) අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.