FAST NEWS

24×7 Around the Globe

ජාත්‍යන්තර පාසල් සිසුන් උ.පෙළට පෞද්ගලිකව අයදුම් කරන්න – විභාග දෙපාර්තමේන්තුව..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) මේ වසරේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අයදුම් කිරීමේදී ජාත්‍යන්තර පාසල් වල සිසුන්ට සිය අයදුම්පත් පෞද්ගලිකව වෙන වෙනම ඉදිරිපත් කරන ලෙස විභාග දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.
වසර ගණනාවක සිට ජාත්‍යන්තර පාසල් සිසුන් සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග වලට අයදුම්පත් ඉදිරිපත් කිරීමේදී ජාත්‍යන්තර පාසලේ නමින් සියලු සිසුන් අයදුම් කළ අතර මෙවර විශේෂ හේතුවක් නොදක්වා මෙතෙක් පැවැති ක්‍රියාපිළිවෙත වෙනස්කර තිබෙන බව ජාත්‍යන්තර පාසල් ප්‍රධානීහු අදහස් පළකර තිබේ.
මේ හේතුවෙන් එම සිසුන්ට පෞද්ගලික මට්ටමෙන් සිය නිවෙස් වල පෞද්ගලික ලිපිනයක් යොදමින් උසස් පෙළ අයදුම්පත් ඉදිරිපත් කිරීමට සිදු වීමෙන් ඔවුන් දැඩි අපහසුතාවයට පත්ව සිටින බවද වාර්තාවේ.
ජාත්‍යන්තර පාසල් සිසුන් අයත්වන්නේ පෞද්ගලික විභාග අපේක්ෂකයින්ගේ ගණයට බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා මේ සම්බන්ධයෙන් අදහස් පළ කළේය.