FAST NEWS

24×7 Around the Globe

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ දෙවන කොටස ජුලි මස අවසන්..

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ දෙවන කොටස වන මීරිගම සිට කුරුණෑගල දක්වා ඉදිවන මාර්ගය ජූලි මාසය වන විට අවසන් කිරීමට නියමිත බව අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ 02 කොටස බාර ව්‍යාපෘති අධ්‍යක්ෂ විග්නේෂ්වරන් මෝහන් මහතා ඊයේ (13) මේ පිළිබඳ ව මාධ්‍යවේදීන් දැනුවත් කිරිමේ නිරීක්ෂණ චාරිකාවේදී ප්‍රකාශ කළේය.
කිලෝමීටර් 40ක් පමණ වන මෙම කොටසේ ඉදි කිරීම් සඳහා වූ මාස 30ක කොන්ත්‍රාත්තුවක් ලෙස 2017 ජනවාරි මාසයේ ඉදි කිරීම් ආරම්භ කර ඇති අතර ,2019 ජූලි මාසය වන විට මෙහි ඉදි කිරීම් අවසන් කිරීමට සැලසුම් කර තිබේ.
අධිවේගී මාර්ගය ඉහළින් ගමන් කරන විශාල ප්‍රමාණයේ පාලම් 12ක් ඇති අතර අධිවේගී මාර්ගය ඉහළින් හා පහළින් ගමන් කරන කොටස් 42ක්ද, බෝක්කු 130 කින්ද සමන්විත වේ.
මෙම ව්‍යාපෘතිය මීටර් 10,421ක් වන කොන්ක්‍රීට් කණු මත දිවෙන මාර්ග කොටස් 36කින් සමන්විත දැවැන්ත සංවර්ධනයක් ලෙස හදුන්වා දිය හැකි බව විග්නේෂ්වරන් මහතා තව දුරටත් පැවසීය.
දේශීය සමාගම් 04 ක කොන්ත්‍රාත් පදනම යටතේ ඉදිවන මෙම ව්‍යාපෘතිය මඟින් කුරුණෑගල, නුවර ආදී ප්‍රදේශවලදී සිදුවන මාර්ග තදබදයට නිසි විසදුම් ලබා දීමට හැකි දැවැන්ත ව්‍යාපෘතියක් ලෙස හදුන්වයි.
මෙම සම්පූර්ණ ව්‍යාපෘතිය 2025වන විට අවසන් කර ජනතා අයිතියට පත් කිරීමට සැලසුම් කර ඇති බව ද ව්‍යාපෘති අධ්‍යක්ෂ විග්නේෂ්වරන් මෝහන් මහතා කීය.