FAST NEWS

24×7 Around the Globe

පළාත් සභා මැතිවරණය පිළිබඳ විශේෂ පක්ෂ නායක රැස්විමකින් තීන්දුවක්..

සියලු පළාත් සභාවල මැතිවරණය ලබන මැයි මස 31 වැනිදාට පෙර පැවැත්වීම සම්බන්ධයෙන් සති දෙකක් ඇතුළත කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක් පවත්වා තීන්දුවක් ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදි ඊයේ (12) පැවැති කැබිනට් රැස්වීමේදී තීරණය වී තිබේ.
සියලු පළාත් සභාවල මැතිවරණය ලබන මැයි මස 31 වැනිදාට පෙර මනාප ඡන්ද ක්‍රමය යටතේ පැවැත්වීය යුතු බවට යෝජනා කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මීට සති දෙකකට පමණ ඉහතදී විශේෂ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළේය.
ජනාධිපතිවරයාගේ තීරණය සම්බන්ධයෙන් පළාත් පාලන හා පළාත් සභා විෂය භාර ඇමැති වජිර අබේවර්ධන මහතා සිය නිරීක්ෂණය කැබිනට් රැස්වීමට ඉදිරිපත් කර ඇති අතර එමගින් මැතිවරණය පැවැත්වීමට අදාළ තාක්ෂණික කරුණු රැසක් සිය නිරීක්ෂණය මගින් ඉදිරිපත්ව තිබූණු බව රජයේ ආරංචි මාර්ග කියයි.
පළාත් සභා සියල්ලේම මැතිවරණ එකම දිනයකදී පවත්වන්නේ නම් දැනට නිල කාලය අවසන්වී නොමැති පළාත් සභා කලික් විසුරුවා හැරීමට මහ ඇමැතිවරුන්ගේ කැමැත්ත ගැනීමට ලිපි ලබා ගත යුතු බවත් පැවැති ක්‍රමයට මැතිවරණය පැවැත්වීම සඳහා පළාත් සභා මැතිවරණ පනත සංශෝධනය කළයුතු බවත් ඇමැති අබේවර්ධන මහතා සිය නිරීක්ෂණ මගින් පෙන්වා දී ඇති බවත් පැවසේ.
කැබිනට් රැස්වීමේදී මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පළාත් සභා මැතිවරණය ලබන මැයි 31 වැනිදාට පෙර පැවැත්වී සම්බන්ධයෙන් ඉදිරි සති දෙක ඇතුළත කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක් කැඳවා තීරණයක් ගන්නැයිද දැනුම් දී තිබේ.