FAST NEWS

24×7 Around the Globe

උතුරු දුම්රිය මාර්ගය මාස 08 කට වැසෙයි..

උතුරු දුම්රිය මාර්ගයේ මහව හන්දියේ සිට වවුනියාව (ඕමන්තේ) තෙක් දුම්රිය මාර්ගය පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කිරීම පිණිස එම දුම්රිය මාර්ගය මාස 08 ක කාලයක් සම්පූර්ණයෙන්ම වසා දැමීමට කටයුතු කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.
බ්‍රිතාන්‍ය යුගයේ මේ දුම්රිය මඟ ඉදි කිරීමෙන් පසු මාර්ගය පූර්ණ වශයෙන් ප්‍රතිසංස්කරණයට ලක් කෙරෙන්නේ ප්‍රථම වතාවට බවද ඒ මහතා පැවසීය.
පැයට කිලෝමීටර් 100ක වේගයෙන් දුම්රිය ධාවනය කිරීමට හැකි වන පරිදි මෙම දුම්රිය මඟ ප්‍රතිසංස්කරණය කෙරෙන බවත්, එ අනුව මේ වසර අගභාගයේදී දුම්රිය මඟ වසා දමන බවත්, මේ පූර්ණ ප්‍රතිසංස්කරණය අදියර දෙකක් යටතේ සිදු කරනු ලබන බවත් සාමාන්‍යාධිකාරිවරයා පැවසීය.
ඒ අනුව පළමු අදියර යටතේ අනුරාධපුරයේ සිට ඕමන්තේ දක්වාත්, දෙවන අදියර යටතේ මහව සන්දියේ සිට අනුරාධපුරය දක්වාත් දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන්ම වසාදමනු ලබන බව එ මහතා සඳහන් කළේය.
ඉන්දීය ණය සහන යටතේ ඉන්දීය ඉර්කොන් සමාගම විසින් අදාළ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරනු ලබන බවත් එම සමාගම ඉදිරි මාස 06ක කාලය තුළ ප්‍රතිසංස්කරණයට අදාළ සියලු භාණ්ඩ හා වාහන ගෙන ආ පසු මෙම වසරේදි වැඩ ආරම්භ කිරිමට නියමීත බවත් හෙතෙම පැවසීය.