FAST NEWS

24×7 Around the Globe

රේගු වෘත්තීය ක්‍රියාමාර්ගය අද (01) දිනයෙත්..

 

තමන් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය තෙවන දිනටත් අද (01) දිනයෙත් ක්‍රියාත්මක කරන බව රේගු ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසයි.

රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස කටයුතු කළ පී.එස්.එම්.චාල්ස් ඉවත් කර ඒ වෙනුවට නාවික හමුදාවේ විශ්‍රාමික නිලධාරියෙකු පත් කිරීමට එරෙහිව එම වෘත්තීය සමිති සන්ධානය පෙරේදා (28) පස්වරුවේ සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළේය.

ඒ අනුව රේගු මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමය, රේගු අධිකාරී සංගමය, රේගු නිලධාරීන්ගේ සංගමය, බහාළුම් ප්‍රවාහනය කරන්නන්ගේ සංගමය සහ රේගු නිෂ්කාශණය කරන්නන්ගේ සංගමය මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එක්ව සිටිති

මේ අතර, රේගු දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස මුදල් අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු වන එච්.ජී.සුමනසිංහ පත් කිරිමට මුදල් අමාත්‍යාංශය ඊයේ (31) කටයුතු කළේය.

එහෙත් එම නිලධාරීයාද රේගු අධ්‍යක්ෂ ජනරාල් ධූරයට සුදුස්සෙකු නොවන බව රේගු අධිකාරීවරුන්ගේ සංගමයේ සභාපති උදිත ජයසිංහ කියා සිටියේය.

කටුනායක ගුවන් තොටුපල, කොළඹ වරායේ මගී සේවා සහ අපනයන අංශයේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවත්, කඩිනම් විසඳුමක් නොලැබුනහොත් එම අංශවලද අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කරන බව රේගු ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසයි.