FAST NEWS

24×7 Around the Globe

අනවසර සංක්‍රමිකයන්ට හා මිනිස් ජාවාරමට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් බෝට්ටු…

 

ශ්‍රී ලංකාවේ සමුද්‍රාරක්ෂක හැකියාව වැඩි දියුණු කිරීම පිණිස විශේෂ බෝට්ටු තුනක් ප්‍රදානය කළ බව ඔස්ට්‍රේලියාව පවසයි.

ඒ ඔස්ට්‍රේලියාවේ එවක අගමැති මැල්කම් ටර්න්බුල්ගේ 2017 වසරේ ශ්‍රී ලංකාවේ සංචාරයේදී කළ ප්‍රතිඥාවකට අනුවය.

අධිවේගී බෝට්ටු තුන ප්‍රදානය කිරීම මගින් සිය සමුද්‍ර සීමා ආරක්ෂා කිරීමට දෙරටේ කැපවීම පිළිබිඹු කෙරෙන බව කොළඹ සිටින ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් බ්රූස් හචිසන් (Bryce Hutchesson) පැවසීය.

විශේෂයෙන්ම අනවසර සංක්‍රමණිකයන් සහ මිනිස් ජාවාරමට වැට බැඳීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් එක්ව කටයුතු කිරීමෙහිලා දෙරට අතර දීර්ඝ ඉතිහාසයක් පවතින බව ද ඔහු පෙන්වා දුන්නේය.

“ශ්‍රී ලංකා සමුද්‍රාරක්ෂක සේවාවල මෙහෙයුම් හැකියාව තවදුරටත් වර්ධනය කිරීම දෙරටේම යහපත පිණිස වේ.” යනුවෙන් ඔහු පවසා තිබේ.

වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ මහ කොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය උපදේශිකා ටාරා කැවානා (Tara Cavanagh) කියා සිටියේ, නීති විරෝධී සංක්‍රමණිකයන්ට වැට බැඳීම පිණිස ශ්‍රී ලංකාවේ සමුද්‍රාරක්ෂක සේවා කළ කාර්ය භාරය එමගින් අගය කිරීමට ලක් කරන ලද බවය.

“බහු සංස්කෘතික රාජ්‍යයක් ලෙස ඔස්ට්‍රේලියාවේ සෞභාග්‍යය සහ සාර්ථකත්වය රඳා පවතින්නේ සුරක්ෂිත සහ නිසි පරිදි කළමනාකරණය කරන ලද දේශසීමා මතය,” යනුවෙන් ද ඇය සඳහන් කළාය.

ඔස්ට්‍රේලියාව බලා යාත්‍රා කිරීමට දැරූ උත්සහ 15ක් ව්‍යවර්ථ කිරීමට 2013 නොවැම්බර් මාසයේ සිට ශ්‍රී ලංකා බලධාරීන් සමත් වී තිබේ. එහිදී නීති විරෝධී ලෙස සහ අනාරක්ෂිත ලෙසින් බෝට්ටුවලින් ඔස්ට්‍රේලියාව බලා යාමට උත්සහ කළ 500 කට අධික පිරිසක් යළි හරවා යවනු ලැබ තිබේ.

පසුගිය වසරේ මැයි 31 වෙනි දින වනවිට නීති විරෝධී ලෙස ඔස්ට්‍රේලියාවට පිවිස, සංක්‍රමණික රැඳවුම් භාරයේ පසුවන ශ්‍රී ලාංකිකයන් ප්‍රමාණය 103 ක් බව ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ වාර්තාවල සඳහන් විය. එයට අනුව ශ්‍රී ලාංකික සම්භවයක් සහිත පුරුෂයන් 98 ක් සහ ස්ත්‍රීන් 5 ක් ඔස්ට්‍රේලියානු රැඳවුම් භාරයේ පසුවූහ.

බෝට්ටු මගින් නීති විරෝධී ලෙස තම රටට ඇතුළුවීමට උත්සාහ කළ පිරිස් රැඳවීම සඳහා 2013 වසරේ දී ඔස්ට්‍රේලියානු රජය විසින් නාවුරු දුපතේ මතභේදාත්මක රැඳවුම් මධ්‍යස්ථානයක් පිහිටුවනු ලැබිණ.

 

ඔස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට බෝට්ටු